Monday, March 24, 2014

(කිරි) සයුර....

     සරසවි මතක කීපයක් එස්සේ ලියැවුනු මගේ ලිපි පෙළට මොහොතක විරාමයක් දීලා වෙනත් ලිපියක් ලියන්නයි මේ උත්සාහය.

      දිනය :- 2014.03.17.
      වෙලාව :- පෙ.ව. 5.30

     මේ වෙලාවට සාමාන්‍යයෙන් මම සදුදා දිනයේ රාජකාරි සදහා යන්න මගේ සහ දියණියගේ ඇදුම් මදින වෙලාව. සුපුරුදු ලෙසම ඒ වැඩේ මම නිරතවෙලා සිටින අතර තුර දුරකථනය නාද උනා. ඇමතුම හුළුගල්ලේ බාප්පාගෙන්.මගේ පියාගේ ගමේ ඉන්න සහෝදරයා. එත් සාමාන්‍යයෙන් මට ඔහු කතා කරන වෙලාව මේක නෙවෙයි. මේ ඇමතුමේ විශේෂත්වයත් ඒකයි.

     මගේ පියා පවුලේ වැඩිමලා. දැන් වයස හැට හයක්. අප්පච්චිට බාල සහෝදරයෝ හතරයි. සහෝදරියෝ දෙන්නයි. ඒ කියන්නේ එක්කොම හත් දෙනෙක්. මගේ කිරි අත්තා ගැන මට හොද මතකයක් නෑ . හේතු කීපයක් ඒකට තියනවා. දැනට ඔහු මිය ගිහිල්ලා අවුරුදු විස්සකට වැඩියි. අනික අප්පච්චි ගමෙන් පිටවෙලා තිබුනේ කුඩා කාලෙමයි. අධ්‍යාපනය වගේම අයහපත් ආර්ථික පසුබිමත් කුඩා කාලෙම ගමෙන් ඇවිත් අප්පච්චිගේ මාමලා ළග ඉදගෙන පාසල් යන ගමන් ඔවුන්ගේ වැඩපලවලට සම්බන්ද වෙන්න සිදුවෙලා. කිරි අත්තා දැඩි මුරන්ඩු පුද්ගලයෙක්. හුගක් දෙනෙකුගේ කතාවලින් වගේම මටම ඒ පිළිබද අත්දැකීම් තියෙනවා. ඒත් මට යම්කිසි ආදරයක් තිබුන බව නම් කියන්න ඕනෑ. හේතුව සමහර විට මම ලොකුම මුනුපුරා වීම වෙන්න ඇති. කිරි අම්මා ගේ ගතිගුණ ඊට හාත්පසින්ම වෙනස්. ඇය දරුවන් හත් දෙනෙකුගේ කටයුතු ඉටු කළා වගේම ගොවිතැන් කටයුතුවලටත් කිරි අත්තාට සහය උනා. තිබුන ආර්ථික ගැලළුත් සමග මගේ අප්පච්චි වැඩිමලා විදියට සෑහෙන කැපකිරීමක් කරලා  පවුලට සාධාරණයක් කරන්න හැකිවුන බව අප්පච්චිම මා සමග අවස්ථා ගණනකම කියලා තියනවා. ඒත් කිරි අම්මා වැන්නියක් නොවෙන්නට පරිපාලන සේවයේ නිලධාරියෙක් , බැංකු කළමනාකරුවෙක් , වෛද්‍යවරයෙක් තමන්ගේ සහෝදර ගොන්නේ දකින්නට මගේ අප්පච්චිටත් හැකිවේ යැයි  සිතන්න බෑ. 

     මම කිරි අම්මාගේ චූටි මහත්තයාය. එම ඇමතීම පවුලේ අයට මා චුට්ටා බවට පත් වන්නට ඉවහල් වන්නට ඇත. කිරි අම්මා මා හට වැඩි සෙනෙහසක් දක්වන්නට හේතුව නම් මා වැඩිමල් පිරිමි මුණුපුරා වීම බව නිසැකවම දනිමි. එමෙන්ම මෑතක් වෙනතුරුම එකම මුණුපුරා ද වීමි.  මෑත අතීතයේ එක් දිනක කිරි අම්මා මා හට උපදෙස් කීපයක් දුන්නාය. ඒ මගේ මව් පියන්ට සැලකිය යුතු අන්දමයි. ඔවුන් මගේ බිරිද සමග අමනාපව සිටි අවස්ථාවන් වලදී කිරි අම්මා ඇය සමග අමනාප නොවුනි. එමෙන්ම අම්මලා සමග කතා බහ කර හොදින් සලකාගෙන සිටිය යුතු බව පෙන්වා දුන්නාය. කුඩා කළ ඇය මී හරක්ගෙන් කිරි දොවා මුදවන ලද කිරි අපට දුන් සැටි අදද සිහිපත් වේ. එහෙත් වසර පහලවක පමණ කාලයක පටන් ඇය නිරෝගී නොවුනි.  මාස කීපයකට වරක් සතියක් දෙකක් රෝහලේ නැවතීම සාමාන්‍ය කාරණයක් බවට පත්විය. 

      පවුලේ මුණුපුරු මිණුපිරියන් අතුරින් මා රැකියාවකට  ගිය මුල්ම  දෙදෙනාගෙන් එකෙකි. එකම දින ලොකු බාප්පාගේ දියණිය හා මම ලිපිකරු පත්වීම් ලැබීමු. ඇය සහ මම පත්වීම් ලැබීමට දින කීපයකට පෙර කිරි අම්මා බලන්නට ගොස් ආශීර්වාද ලබා ගතිමු. මා එවකට සරසවියේ පළමු වසරේය. ලොකු නංගී සරසවියට ඇතුල් වීමට ආසන්නව සිටියාය. එදිනද කිරි අම්මා දෙමව්පියන්ට සලකා බලා ගත යුතු බවට උපදෙස් දුන්නා අද මෙන් මතකය. ඉන් පසුව මා මුල් වරට ඇය බලන්නට ගමේ ගියේ වොයිල් සාරියක් හා සස්ටජන් ටින් එකක් රැගෙනය. ඒ මගේ අප්පච්චිගේ හා අම්මාගේ උපදෙස් පිටය. 

    මේ පිළිවෙලක් නැති විස්තරය ඔබට නොතේරෙනු ඇත. එහෙත් දුරකථන ඇමතුමට මා පිළිතුරු දීමට පටන් ගත් විට ඔබට සියල්ල වැටහෙනු ඇත.

    "බාප්පේ.."
    " අප්පච්චිලාගේ පෝන් එක වැඩකරන්නේ නෑ"
    " ඇයි බාප්පේ"
     " කිරි අම්මා නැතිඋනා...... අප්පච්චිට කියන්න...."
     "හ්ම්ම්......"

   මොහොතක් සිටි තැනම එක් ආකාරයෙන් සිටි මම පියවියට පැමිණියෙමි. කමිසයක්වත් නොමැතිව මෝටර් සයිකලයට නැගුන මම අප්පච්චි සොයා නැගෙනියගේ නිවසට ගියෙමි. ඔහු පාර අයිනේ මිදුල අතුගානු ඇතටම පෙනුනි. ඒ ඔහුගේ දින චරියාවය. කළුවරේම මිදුල අතුගා පිරිසිදු කිරීම ඔහුගේ සිරිතයි.  මා ඔහු අසලින් සයිකලය නැවැත්තුවෙමි. 

    " බාප්පා කථා කරා..."
    " කොයි වෙලාවෙද...?"
    " දැන් ටිකකට කලින්..."
    " ඇයි... කිරි අම්මා නැතිවෙලාද?..."
  මා කිවයුතු දේ ඔහු අසයි. ම හට කියා ගත නොහැකිව තිබූ දේ ඔහුම විමසීය.

    " ඔව්"

    ඉදල අතට ගෙන මොහොතක් නිසොල්මන්ව සිට අම්මාට කතාකර කියයි. 

   " මම යන්නම් අම්මත් එක්ක ... ඔයා එන්න "

   මම ආසු හැරීමි. 

 ශෝකය ප්‍රකාශ කළ ඥාති හිතමිත්‍රාදීන් මැද දැඩි කාර්යබහුලත්වයකින් යුතුව දින ගෙවී ගියේය.  කිරි අම්මා නොඑන්නටම ගියාය. එදින දෙනට ගිනි දැල්වූ පසුව මාස තුනකට පමණ පසුව විශාල වර්ෂාවක් වැටුනි. පිටියෙහි ඉතිරි වූ අප කීප දෙනෙකු නැහැවීමට එය සමත් විය. වැස්සේම අප ආපසු ආවෙමු. වෙනදාට නොදැනෙන පාළුවක් කිරි අමිමා නොමැති නිවසේ මට දැනුනි.

    හත් දිනේ දානය නිමවා අද ආපසු රාජකාරි සදහා පැමිණි මට මෙය නොලියාම සිටිනු නොහැකි වුනි. ලිපිය අවසන් කරමින් මෙලෙස ලියමි. ආදරණීය කිරි අම්මේ ඔබට නිවන් සුව..

    

No comments:

Post a Comment