Monday, March 24, 2014

(කිරි) සයුර....

     සරසවි මතක කීපයක් එස්සේ ලියැවුනු මගේ ලිපි පෙළට මොහොතක විරාමයක් දීලා වෙනත් ලිපියක් ලියන්නයි මේ උත්සාහය.

      දිනය :- 2014.03.17.
      වෙලාව :- පෙ.ව. 5.30

     මේ වෙලාවට සාමාන්‍යයෙන් මම සදුදා දිනයේ රාජකාරි සදහා යන්න මගේ සහ දියණියගේ ඇදුම් මදින වෙලාව. සුපුරුදු ලෙසම ඒ වැඩේ මම නිරතවෙලා සිටින අතර තුර දුරකථනය නාද උනා. ඇමතුම හුළුගල්ලේ බාප්පාගෙන්.මගේ පියාගේ ගමේ ඉන්න සහෝදරයා. එත් සාමාන්‍යයෙන් මට ඔහු කතා කරන වෙලාව මේක නෙවෙයි. මේ ඇමතුමේ විශේෂත්වයත් ඒකයි.

     මගේ පියා පවුලේ වැඩිමලා. දැන් වයස හැට හයක්. අප්පච්චිට බාල සහෝදරයෝ හතරයි. සහෝදරියෝ දෙන්නයි. ඒ කියන්නේ එක්කොම හත් දෙනෙක්. මගේ කිරි අත්තා ගැන මට හොද මතකයක් නෑ . හේතු කීපයක් ඒකට තියනවා. දැනට ඔහු මිය ගිහිල්ලා අවුරුදු විස්සකට වැඩියි. අනික අප්පච්චි ගමෙන් පිටවෙලා තිබුනේ කුඩා කාලෙමයි. අධ්‍යාපනය වගේම අයහපත් ආර්ථික පසුබිමත් කුඩා කාලෙම ගමෙන් ඇවිත් අප්පච්චිගේ මාමලා ළග ඉදගෙන පාසල් යන ගමන් ඔවුන්ගේ වැඩපලවලට සම්බන්ද වෙන්න සිදුවෙලා. කිරි අත්තා දැඩි මුරන්ඩු පුද්ගලයෙක්. හුගක් දෙනෙකුගේ කතාවලින් වගේම මටම ඒ පිළිබද අත්දැකීම් තියෙනවා. ඒත් මට යම්කිසි ආදරයක් තිබුන බව නම් කියන්න ඕනෑ. හේතුව සමහර විට මම ලොකුම මුනුපුරා වීම වෙන්න ඇති. කිරි අම්මා ගේ ගතිගුණ ඊට හාත්පසින්ම වෙනස්. ඇය දරුවන් හත් දෙනෙකුගේ කටයුතු ඉටු කළා වගේම ගොවිතැන් කටයුතුවලටත් කිරි අත්තාට සහය උනා. තිබුන ආර්ථික ගැලළුත් සමග මගේ අප්පච්චි වැඩිමලා විදියට සෑහෙන කැපකිරීමක් කරලා  පවුලට සාධාරණයක් කරන්න හැකිවුන බව අප්පච්චිම මා සමග අවස්ථා ගණනකම කියලා තියනවා. ඒත් කිරි අම්මා වැන්නියක් නොවෙන්නට පරිපාලන සේවයේ නිලධාරියෙක් , බැංකු කළමනාකරුවෙක් , වෛද්‍යවරයෙක් තමන්ගේ සහෝදර ගොන්නේ දකින්නට මගේ අප්පච්චිටත් හැකිවේ යැයි  සිතන්න බෑ. 

     මම කිරි අම්මාගේ චූටි මහත්තයාය. එම ඇමතීම පවුලේ අයට මා චුට්ටා බවට පත් වන්නට ඉවහල් වන්නට ඇත. කිරි අම්මා මා හට වැඩි සෙනෙහසක් දක්වන්නට හේතුව නම් මා වැඩිමල් පිරිමි මුණුපුරා වීම බව නිසැකවම දනිමි. එමෙන්ම මෑතක් වෙනතුරුම එකම මුණුපුරා ද වීමි.  මෑත අතීතයේ එක් දිනක කිරි අම්මා මා හට උපදෙස් කීපයක් දුන්නාය. ඒ මගේ මව් පියන්ට සැලකිය යුතු අන්දමයි. ඔවුන් මගේ බිරිද සමග අමනාපව සිටි අවස්ථාවන් වලදී කිරි අම්මා ඇය සමග අමනාප නොවුනි. එමෙන්ම අම්මලා සමග කතා බහ කර හොදින් සලකාගෙන සිටිය යුතු බව පෙන්වා දුන්නාය. කුඩා කළ ඇය මී හරක්ගෙන් කිරි දොවා මුදවන ලද කිරි අපට දුන් සැටි අදද සිහිපත් වේ. එහෙත් වසර පහලවක පමණ කාලයක පටන් ඇය නිරෝගී නොවුනි.  මාස කීපයකට වරක් සතියක් දෙකක් රෝහලේ නැවතීම සාමාන්‍ය කාරණයක් බවට පත්විය. 

      පවුලේ මුණුපුරු මිණුපිරියන් අතුරින් මා රැකියාවකට  ගිය මුල්ම  දෙදෙනාගෙන් එකෙකි. එකම දින ලොකු බාප්පාගේ දියණිය හා මම ලිපිකරු පත්වීම් ලැබීමු. ඇය සහ මම පත්වීම් ලැබීමට දින කීපයකට පෙර කිරි අම්මා බලන්නට ගොස් ආශීර්වාද ලබා ගතිමු. මා එවකට සරසවියේ පළමු වසරේය. ලොකු නංගී සරසවියට ඇතුල් වීමට ආසන්නව සිටියාය. එදිනද කිරි අම්මා දෙමව්පියන්ට සලකා බලා ගත යුතු බවට උපදෙස් දුන්නා අද මෙන් මතකය. ඉන් පසුව මා මුල් වරට ඇය බලන්නට ගමේ ගියේ වොයිල් සාරියක් හා සස්ටජන් ටින් එකක් රැගෙනය. ඒ මගේ අප්පච්චිගේ හා අම්මාගේ උපදෙස් පිටය. 

    මේ පිළිවෙලක් නැති විස්තරය ඔබට නොතේරෙනු ඇත. එහෙත් දුරකථන ඇමතුමට මා පිළිතුරු දීමට පටන් ගත් විට ඔබට සියල්ල වැටහෙනු ඇත.

    "බාප්පේ.."
    " අප්පච්චිලාගේ පෝන් එක වැඩකරන්නේ නෑ"
    " ඇයි බාප්පේ"
     " කිරි අම්මා නැතිඋනා...... අප්පච්චිට කියන්න...."
     "හ්ම්ම්......"

   මොහොතක් සිටි තැනම එක් ආකාරයෙන් සිටි මම පියවියට පැමිණියෙමි. කමිසයක්වත් නොමැතිව මෝටර් සයිකලයට නැගුන මම අප්පච්චි සොයා නැගෙනියගේ නිවසට ගියෙමි. ඔහු පාර අයිනේ මිදුල අතුගානු ඇතටම පෙනුනි. ඒ ඔහුගේ දින චරියාවය. කළුවරේම මිදුල අතුගා පිරිසිදු කිරීම ඔහුගේ සිරිතයි.  මා ඔහු අසලින් සයිකලය නැවැත්තුවෙමි. 

    " බාප්පා කථා කරා..."
    " කොයි වෙලාවෙද...?"
    " දැන් ටිකකට කලින්..."
    " ඇයි... කිරි අම්මා නැතිවෙලාද?..."
  මා කිවයුතු දේ ඔහු අසයි. ම හට කියා ගත නොහැකිව තිබූ දේ ඔහුම විමසීය.

    " ඔව්"

    ඉදල අතට ගෙන මොහොතක් නිසොල්මන්ව සිට අම්මාට කතාකර කියයි. 

   " මම යන්නම් අම්මත් එක්ක ... ඔයා එන්න "

   මම ආසු හැරීමි. 

 ශෝකය ප්‍රකාශ කළ ඥාති හිතමිත්‍රාදීන් මැද දැඩි කාර්යබහුලත්වයකින් යුතුව දින ගෙවී ගියේය.  කිරි අම්මා නොඑන්නටම ගියාය. එදින දෙනට ගිනි දැල්වූ පසුව මාස තුනකට පමණ පසුව විශාල වර්ෂාවක් වැටුනි. පිටියෙහි ඉතිරි වූ අප කීප දෙනෙකු නැහැවීමට එය සමත් විය. වැස්සේම අප ආපසු ආවෙමු. වෙනදාට නොදැනෙන පාළුවක් කිරි අමිමා නොමැති නිවසේ මට දැනුනි.

    හත් දිනේ දානය නිමවා අද ආපසු රාජකාරි සදහා පැමිණි මට මෙය නොලියාම සිටිනු නොහැකි වුනි. ලිපිය අවසන් කරමින් මෙලෙස ලියමි. ආදරණීය කිරි අම්මේ ඔබට නිවන් සුව..

    

Friday, March 7, 2014

සරසවි මතක 06

    හතරයි දශම එකයි.
 වැඩේ වැරදීගෙන එන බව වැටහුන මම ජේෂ්ඨයාගේ මුහුණ දෙස බැලුවා.
    ගහපිය පට්ට හු.......

    මම නැවතත් සුපුරුදු ආකාරයටම ක්‍රියාත්මක උනා...
    හතරයි දශම දෙකයි.
    හතරයි දශම තුනයි.
    .......
    .......
    හතරයි දශම අටයි එකයි.
    හතරයි දශම අටයි දෙකයි.
     හතරයි දශම අටයිතුනයි.
     .......
     .......
     හතරයි දශම නවයයි එකයි එකයි.
     .........
     .........
     දැන්නම් පර්සරයේ සියලු සීතල මැකී යමින් සිහින් ඩහදිය පාරක් කමිසයෙන් වැසී ඇති පිට දිගේ රූටාගෙන එනු දැනෙයි. අත් දෙකේ නකල්ස් යන්තමින් වෙව්ලනු දැනෙයි. ජේෂ්ඨයා තවමත් අණ දෙයි.
     
      හතරයි දශම නවයයි නවයයි එකයි.
හිතෙන් ගනන් කරමින්  මම ඩිප්ස් ගසමි. දැන් මගේ ගණනට අනුව නම් පනහද ඉක්මවා ඇත. එහෙත් ජේෂ්ඨයාට තවම පහක් නැත.
       පහයි.....
 
       දඩාස්...

       මගේ ශරීරය දරා ගැනීම ඉක්මවීය. මුනින් අතට ඩහදිය වැටී ඇති සිමෙන්ති පෙිළව මත ඇද වැටුනෙමි.

       මගේ අසල සිටි මිතුරෙකු මා වත්තන් කිරීමට ලං විය.
       "අහකට වෙයං." ඒ ජේෂ්ඨයෙකි.
       මා හට අණ දුන් ජේෂ්ඨයා ලං විය.
      උඹට අමාරුද....
       නැතැයි කීමට මම හිස වැනීමි. එහෙත් වචන පිට නොවුනේ හති දමමින් සිටි නිසාවෙනි. කෙසේ වෙතත් මොහොතක් මෙලෙස සිටීම හොදයැයි මම තීරණය කළෙමි.

      තවත් සුළු වෙලාවක් කාමරයේ රැදී සිටි ජේෂ්ඨයන් පිරිස පිටවී ගියහ.
      මිතුරෝ මා වටකර ගත්හ. මම තනිවම නැගිටීමි. සිතු තරම් මා දුර්වල නිවීමි. මහන්සිය හැරුන විට වෙනත් කිසිවක් නොවුනි. මේ වන විට අප අප පිළිබද තොරතුරු තරමත් දුරට දැන සිටිය අතර එකිනෙකා කෙරෙහි මිත්‍රත්වයක්ද ගොඩ නගා ගෙන සිටියහ.

      සමාවෙන්න හැට හය.

   ඒ පාර තවත් කරදරයක්.
    හිමෙන් සැරේ ‍ අපෙන් අයෙක් දොර ඇරියා.

    සරමක් හා කමිසයකින් සැරසුන ආගන්තුක අයෙක් දොර ළග.
    "රසික  මම උඹ හොයාගෙන ආවේ"

    මෙලෙස පැවසුවේ කොත්මලෙන් පැමිණි රසිකටය. අමුත්තා ඔහුගේ පාසල් මිතුරෙක් විය.

      හා.. හා. යමල්ලා රෑට කන්න... දැන් වෙලාව කීයද බලපන්..

     අපි නම් දැන් හොදට බඩ පුරා කාලයි ඉන්නේ.

      නවය පහු උනොත් කැන්ටිමේ මොනවත් නෑ.... දැනටත් මාර පෝලිමක් තියෙන්නේ...  යමන් යමන්...

     ඔහු පැරණි සිසුවෙක්ද.. ඔහු මේ පිළිබද තොරතුරු ඔහු දැනගත්තේ කොහෙන්ද....ප්‍රශ්න ගනනාවකි.

     කෙසේ වෙතත් ප්‍රශ්න කොකර අපි මුදල් ද ගෙන ඔහු සමග ආපන ශාලාව කරා ගියෙමු. අතරමග දී හමුවූ නාන කාමරයෙන් මුහුණ සෝදා ගෙන පෝලිමට එක්වීමට  අපට හැකි විය. ඒ වනවිටද සියයක පමණ පිරිසක් පොලිමේ විය. කාමර 144 ක පිරිස කොපමණද යන්න ඔබට සිතා ගත හැකි වනු ඇත. සියයක එකසිය පණහක පිරිසක් ආපන ශාලාව ඇතුලේ සිටි බව පෙනුනි.

       පොලිමේ සිටින අතර තුර දී ජේෂ්ඨ සිසුන් වෙනත් පීඨවල සිසුන් අපෙන් විවිධ ප්‍රශ්න අසයි. ගීත ගැයීමට පවසයි. හදුනන කිසිවෙකුත් නොමැති බැවින් සියල්ලෝම ජේෂ්ඨයන් ලෙස පෙනේ. අපේම නවකයන්හටද අප බියවේ. සැම අයෙකු දෙසම සැකමුසුව බැලීමු. වචනයක් පිට කීරිමට කිහිප වරක් සිතා බලයි.

  පැය කාලකට පමණ පසු මගේ වාරය ආවේය. මගේ මිතුරන් මාලු කෑම මිලදී ගත්තත් මම " එළවළු" කියා ඉල්ලුවෙමි.
        රුපියල් හයක් දෙන්න.. විශ්වාස කළ නොහැකි බැවින් මම යලිත් කීයදැයි විමසුවෙමි. "රුපියල් හයයි"

මම රුපියල් දහයක් දී ඉතිරි ලබා ගතිමි. එළවළු කෑම ඉල්ලුවේ මිල ගැන සිතා නොව කෑම පිළිබද හරිහැටි නොදන්නා නිසාවෙනි. හිල්ඩා කැන්ටිමේ බත් අන්තිමයි කියා අසා ඇති නිසයි.

      බත් පිගාන ගෙන මිතුරෙකු සොයා යාමට අදහස් කළත් අවකාශයක් නොවීය. "ඒයි ප්‍රෙශ් මෙහෙ වරෙන්.." මග හැරිය නොහැකි ජේෂ්ඨයෙකුගේ ඇරයුමක්.

      සුභ සැන්දෑවක් ජේෂ්ඨතුමා...
    මුලින්ම සුභ පැතුවෙමි. ඊළග වචනය කුමක්දැයි මම දනිමි.

     සුභ වෙන්නේ කොහෙද තොපි ඇවිල්ලා අද අපිට කන්න දෙයක්වත් නෑ .... හ්ම්... ඉදගනින් කන ගමන් උඹේ පවුලේ අය ගැන විස්තරයක් කරපන්....

       දැන් සමහර දේ හුරුය. මගේ නම ..... මගේ ගම....... මම අණුඩර කෑවේ.......... මැද අණ්ඩර කඩේ. මම අණුඩර කෑවේ... සූරා කෑම... මව් බස...මට සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. ඒ අය තවම අණ්ඩර කනවා...
මගේ තාත්තා රටට කන්න දෙනවා. අම්මා ගෙදරට වෙලා හුලං බොනවා. මම විස්තරය දිගටම කරගෙන යමි. තරමක් එහායින් හුරු පුරුදු කටහඩක් ඇසේ . අනුමානය නිවැරදි නම් ඒ කුලේ විය යුතුය. ඔහු ගැන තොරතුරක් දැනගීමට නැතිව සිතේ තිබුන කැළඹීම තුරන් විය. එහෙත් ඔහුද මා මෙන්ම තවකෙකුට විස්තරයක් කියයි. විටක ඔහු ඉදිරිපිට සිටින ජේෂෟඨයා සිනා සෙයි. විටක ලංවී කුණුහරපයෙන් බැන වදී. මට ඔහු හා කත‍ා කිරීමට හැකියාවක් නැ. කෑම නිමවා යාමට මත්තෙන් කෙසේ හෝ ඔහු හමුවීමට ඉටා ගත්තෙමි.

      මා ඉදිරිපිට සිටි ජේෂ්ඨයා නැගිට ගියමුත් කුලේ ළගට යා නොහැකිය. ඔහු මා දැක ඇත. මම ඔහුට සිනාවක් පෑ මුත් ඔහු ප්‍රතිචාර නොදැක්වීය.

      එක් වරම කාමරයේ දී හමුවූ නපුරු මුහුණක්  ඇති ජේෂ්ඨයා මා ඉදිරිපිටින් ඉද ගත්තේය.

මතු සම්බන්ධයි.....
       



Monday, March 3, 2014

සරසවි මතක 05.

      පසුගිය ලිපියේ දී පින්තූර ටිකක් පළකරලා සරසවියේ සුන්දර ස්ථාන කීපයක් ඔබට දැකගන්න අවස්ථාව සැලැසුවා.ඒ රාජකාරි වටපිටාව සමග දිගු ලිපියක් ලියන්න අවස්ථාවක් නොමැති කම හේතුවෙන් යමක් නොලියා බැරිකමට තාවකාලිකව කළ පිළියමක්. මීට වඩා සුන්දර ස්ථාන සරසවියේ තියනවා. ඒ වගේම විවිධ ස්ථානවලට සම්බන්ධ කතා ප්‍රවෘත්ති ඒ ඒ ස්ථානවලට නම් පටබැදුන ආකාරය වාගේ දැනගන්න කරුණු ගොඩක් තියෙනවා. පුළුපුළුවන් විදියට ඒ දේවල් ඉදිරියේදි ඉදිරිපත් කරන්න බලන්නම්.

     වෙලාවකට හිතෙනවා ලිපි දිග්‍ු වැඩිද කියලත්. උපරිම කෙටියෙන් තමයි මේ ලියන්නේ . මීට වඩා කෙටි කරොත් රසයට හානි වෙන්න ඉඩ තියෙනවා. කෙසේ වෙතත් ඔබේ ප්‍රතිචාර මත ඒක වෙනස් කරන්නම්.

     කැවුම් දුන් පියා ගියාට  පසසේ උන දේ ගැන දැන් ලියන්නම්.

     ඊට පස්සේ ආවේ යමපල්ලෝ ටිකක් කියලයි ඒ දවස්වල නම් හිතුනේ. ඒත් ටික දිනක් යද්දි ඒ අදහස් වෙනස් උනා.

    " දොර ඇරපන් sixty six " කියලා ඇතුලට ආව පිරිසක් (හතර දෙනෙක් විතර මතකේ හැටියට) ඊළගට අපිව ( මේ වෙද්දී අපි හය දෙනෙක් 66 කාමරේ ඇතුලේ හිටිය භව ඔබට මතක ඇතැයි සිතමි.) වෙන වෙනම අල්ලා ගෙන ප්‍රශ්න කරන්න ගත්තා . ඒ පිරිසෙන් එක් අයෙකු පෙනුමින් ටිකක් නුපුරු ගතියක් පෙනුන අයෙක්. ඔහු අවේ මගේ ළගට.

     ගම කොහේද?
     කුරුණෑගල....
ඒයි... ජේෂ්ඨයා.. මේන්.... බොරුකාරයෙක්... තොපි යකෝ ආගම විකුණාගෙන කන එවුන්නේ.. කාලයක් නිකවැරටිය මීවැල්ලාව.. කාලයක් දොළුකන්ද .. ලැජ්ජාවක් නැද්ද යකෝ.. තොපිට...

     කුරුණෑගල කොහේද.... කියපන්...
    දැන් නිකවැරටිය කීවොත් තවත්  දේවල් අසා ගත හැකිය. මීටරය දමා "ආණමඩුව " කීවෙමි.

   ආණමඩුවෙ....
    ඉගිණිමිටියෙ....

    හ්ම්... පවුලේ කීයද...
   තුනයි...මමයි.. අක්කයි.. නංගියි...

    මම ඇහුවද? පැනල දෙන්න එපා... අම්මයි.. තාත්තයි.. උඹේ පවුලේ නෙමෙයිද ?
    වරද මගේය කරබා ගතිමි.

    උඹ පොරක්ද? 
    නෑ....
     වෙන්න බෑ.. උඹ පොරක් තමයි... කුරුණෑගල එවුන් මේකේ පොරවල් වෙන්න බෑ... හරිද  

    ඇයි..ඒ.. අහන්න සිතුනත් සෞඛ්‍ය ගැන සිතා  නිහඩ වූයෙමි.
     මේ අතර තුර මගේ සගයන් ගැන ඇස යැව්වෙමි. ඒ වන විට කොත්මලේ මිත්‍රයා ඇනගෙන තිබුනි. ඔහු      ඇදක් යටින් රිංගා මකුළුදැල් ඔටුන්නක් හිසේ පළදවාගෙන තිබුනි. තවත් එකෙක් පොලොන්නරුවේ මිත්‍රයා මඩවයි. දෙහිඅත්තකන්ඩියේ ජයතිලක ගිනිකූරක් ගෙන ඇදේ දිග මනිනු දුටුවෙමි.

     උඔ මොනවද A/L වලට කෙරුවේ... එක්වරම තිගැස්සුනේ නපුරු ජේෂ්ඨයාගේ හඩිනි.

     සිංහල...පොලිටිකල්...
     කැවුම් දුන් පියාගේ උපදෙස් අමතක වී කඩුව භාවිතා කළ බව දැනුනත් දිගටම කියාගෙන යද්දී..

     ජේෂ්ඨයා මේ අහපන්කො අමුතු  වගයක් නේ මූ කරලා තියෙන්නේ ..
     සියලලෝම මදෙස හැරී බලයි..
     හ්ම්.. ගහපන් ඩිප්ස්.. පහක්...
      මම ඔහුගේ මුහුණ දෙස බැලීමි. එය බැලිය නොහැකි තරම් තරහින් පුපුරණු පෙනේ...
  
      ගහපිය.... හු.......

   තවත් ශුද්ධ සිංහල වදන් පිටවීමට මත්තෙන් බිමට පාත් වුනෙමි.
    ඩිප්ස් පහයි ... නේ...

   එකයි...
    දෙකයි...
      තුනයි...
 ජේෂ්ඨයා ගනන් කරයි....
       හතරයි...
  මගේ අත්දැකීම් අනුව ඩිප්ස් පහක් එතරම් අමාරු කාරියක් නොවේ . සමහර විටක විසිපහක් තිහක් ගසා ඇති මට මෙය අසීරු කාරියක් නොවේ. ගෙදරදී දිනකට පනහක් පමණ ගසා ඇති දිනද ඇති මගේ මතකයේ ඇත.
ඒ අනුව බලන විට මෙය ඉතා පහසු කටයුත්තකි. එකවර ඩිප්ස් පහක්.

මතු සම්බන්ධයි.