Wednesday, August 28, 2013

රාත්‍රිය 2 අස්වැන්න...

          රාත්‍රි ගනනාවක් වෙහෙස වී රැකගත් ගොයම පසුගිය සිකුරාදා ගෙට ගත්තා. මම මේ ගොවිකම කළේ කෑමට වී ටිකක් සපයා ගැනීමේ අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා උනත් තමන්ගේ ජීවිකාව ගොවිතැන කරගත් රටට බත සපයන අය කොතරම් දුකක් විදිනවද කියන එක නම් ඒ දවස් කීපයේ හොදින්ම අත්වින්දා....

         වී ගොවිතැන් කිරීම සදහා මේ වන විට ගොවියන්ට අධික පිරිවැයක් දරන්න වෙලා. ඒ රජය ලබා දෙන පොහොර සහනාධාරයත් ලැබෙද්දී. සාම්ප්‍රදායිකව යොදාගත් මිනිස් ශ්‍රමය වෙනුවට මේ වන විට යන්ත්‍රසූත්‍ර භාවිතය වැඩි වෙලා.  ‍ඒවාට ගෙවිය යුතු ගාස්තු ඉතාම අධිකයි. නොයෙකුත් හේතු රාශියක් තියනවා මිනිස් ශ්‍රමය යොදා ගැනීම ඈත්වීමට. පවුල්වල පිරිස අඩු වීම. කාන්තාවන් විවිධ රැකියා අවස්ථා සොයා අගනුවරට කේන්ද්‍ර ගත වීම. ගොවිතැනට ඇති සමාජ පිළිගැනීම අඩු වීම යන කරුණු ප්‍රමුඛ ඒවා.

        මේ තත්වයන් තුළ උනත් ගොවිතැන අත් නොහැර ඉන්න පිරිසට මෑත කාලයේ මුහුණ දීමට සිදුවුන වන අලි තර්ජනය නිසා කබලෙන් ලිපට වැටෙන්න වෙලා. මේ සදහා දීර්ඝ කාලීන විසදුමක් නම් පේනතෙක් මානයේ නෑ. කලින් කලට එන පැලැස්තර විසදුම් හැරුණවිට. පසුගිය සති දෙකේ මගේ ගමට අල්ලපු ගම් දෙකක දෙන්නෙක් අලි පහරදීම්වලින් මියගියා. එක පුද්ගලයෙක් මාළු වෙළදාම් කළ අයෙක්. හවස වෙළදාම් අවසන් වෙලා ගෙදර යන විට ප්‍රහාරයට ලක්වුනේ. අනෙක් කෙනා උදේ මිදුල අතුගාමින් සිටි වයසක කාන්තාවක්. බලධාරීන්ට මේ කතා ඇහෙන්නේ නැත්තේ ඔවුන්ට මේ තර්ජනය නොදැනෙන නිසා. ඩෙංගුවලට වඩා අලි පහරදීම් මරණ ප්‍රමාණය වැඩියි. මම දැනට සේවය කරන කොට්ඨාසයේ මාසෙකට දෙකකට එක් අලි පහරදීම් මරණයක් වාර්තා වෙනවා. 

       මම කළ ගොවිතැනේ ලාභය මොකක්ද කියලා කියන්නත් උවමනායි. අක්කර 1/4කට ටිකක් වැඩි කුඹුරක්. බුසල් 35ක විතර අස්වැන්නක් තිබුනා. කිලෝ නම් 700ක් පමණ.  එයින් කිලෝ 200 ක් විතර අප්පච්චිට දුන්නා ප්‍රතික්ෂේප කිරීම් මැද්දෙම. ඉතිරි ටික කාලෙකට අපිට සෑහෙයි. මොනවා කරන්නත් කළින් කොටවෙහෙරට ගිහිල්ලා කිරි උතුරන්න උවමනායි. ඉදිරියේ දී සතියකට එක් ලිපියක්වත් ලියන අදහසින් අදට ලිපිය හමාර කරනවා.

       

Monday, August 19, 2013

රාත්‍රිය....

        රාත්‍රි උදාවන්නේ පෘතුවියේ භ්‍රමණය හා පරිභ්‍රමණය යන ක්‍රියාවන් නිසාවෙන් බව ඉගෙන ගතතේ 6 වසර තරම් කුඩා කාලයේදී... (විද්‍යාව පාඩමේදී) ඒ කියනනේ මේ සිද්ධියට පෘතුවිය වගේම සූර්යාත් එක ලෙසම බලපානවා. අපිට රාත්‍රිය විවේක කාලයක් උනත් ලෝකේ සමහර රටවල සමහර නගරවලට නම් ඒක අදාල නෑ. පැය 24ම නොනිදන නගර තියනවානේ. ලංකාවෙත් එහෙම තැන් නැතිවා නෙවෙයි.

       දුප්පත් ගැමියෙකු රාත්‍රිය දුටුව ආකාරය පුංචිකාලේ පාඩම් පොතක කවි පන්තියක තිබුනා.  එයට අනුව නම්  රාත්‍රිය දේව දූතයෙක්. තමනගේ විඩාව නිවන. ඔහු තම කළුවා නම් ගවයාට ඒ බව කියනවා ඉතාම දුක්බර විදියට....

      රාත්‍රිය සුන්දරයි. ඒකේ විවාදයක් නෑ. ඒ සුන්දරත්වය එක් කරන දේ අතර සදට හිමි වෙන්නේ ප්‍රධාන තැනක්. රාත්‍රියට සෞම්‍ය බව එකතු කරන්නේ සදයි. රාත්‍රි ලස්සන කරන තවත් සදට සම්බන්ද දෙයක් තමයි කුමුදු මල්. මුළු රාත්‍රියම සුවදවත් කරන්නේ මේ කුමුදු මල් තමයි. ඒ නිසා සදත් කුමුදු මලුත් අතර නොබිදිය හැකි සබදතාවක් තියෙනවා.

      රාත්‍රිය සුන්දරත්වය විදින්න නම් ඊට සමීප වෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඒ අත්දැකීම විදින්න බෑ. මමත් පසුගිය දවස් ටිකේ රාත්‍රියට හරිම ලං වුනා. ඒ මගේ කුඹුර රකින්න (අලින්ගෙන්) රාත්‍රියේ වැඩි කොටසක් ගෙවන්න  සිද්ධවුන නිසයි. මම වගේම අපේ ගමේ බොහෝ දෙනෙකුට රාත්‍රිය නිදි වර්ජිතව ඉන්න සිද්ධවෙලා. සමහර අය ගස් උඩ පැල් හදාගෙන. සමහරැන් ගිනි ගොඩවල් ගහගෙන මේ සදහා මහන්සි වෙනවා.ඒ අතින් නම් ඉතින් කියලා වැඩක් නෑ. මේ මොන දේකළත් එක මොහොතක් මග හැරුනොක් ඉවරයි. 

     රාත්‍රිය එක එක අයට එක එක විදියට දැනෙන්න පුළුවන්. අසුන්දර දෙයක් විදියට දකින අයත් ඇති. කොහොම උනත් මේ ටිකත් හිතන්න වටිනවා. රාත්‍රිය උදාකරන්න  සම්බන්ධ උනත්, සෞම්‍ය සදට ඒ එළිය ලබා දෙන්න උදව් කළත් හිරුට නම් කවමදාකවත් රාත්‍රියේ සුන්දරත්වය විදින්න නම් බෑ. එහෙම නේද?

     

Tuesday, August 6, 2013

මගේ බ්ලොග් සටහන ගැන.


         ටික කාලයක් බ්ලොග් එක අමතක කරලා තිබුනේ... ඒනිසා අළුතෙන් මොනවත් ලියන්න හිතුනේ නෑ.
කොහොම උනත් මම බ්ලොග් එකක ලියන්න හිතුවේ මගේ අදහස් කියන්නම නෙවෙයි. සමහර විටක මේක කවුරුත් බලනවද කියන්න මම දන්නෙත් නැහැ. මට අවශ්‍යතාවය තිබුනේ මේ දේ  කරන්න පුළුවන් දෙයක්ද කියන එක දැනගන්න විතරයි.

         ඒත් මෙහෙමත් හිතනවා. යමක් කරන එක නොකර ඉන්නවට වඩා දශමයක් හරි හොදයිනේ. මේ අදහස මගේ හිතට වැටෙන්න අද උදේ මම දැක්ක දෙයකුත් තරමක් දුරට බලපෑවා. ඒ.... කියන්නේ... මගේ පාසල ළගින් අද එන විට දැක්ක වගන්තියක්. මෙහෙම පාසැලේ තාප්පයේ ලියලා තිබුනා. 

" ඉතාම සරු භුමියක් පවා වගා නොකළහොත් 
වල් පැළවලින් පිරෙනු ඇත"

           මේ වගන්තිය කොතරම් නිවැරදිද කියලා මම බස්රථයේ එන ගමන් කල්පනා කළා. මට හිතෙනවා මා තුළ තිබූ යම් යම් හැකියාවන්ට මේ ඉරණම අත්වෙලා නේද කියලා. ඒ නිසයි මම අද සටහන ලියද්දි මුලින්ම කීවෙත් බ්ලොග් එකක් ලියන එක මට කරන්න පුළුවන් දෙයක්ද කියලා දැනගන්න විතරයි මට ඕනෑ උනේ කියලා.

           අර වගන්තිය දැක්ක මට හිතුනා අදම අළුත් සටහනක් ලියන්න ඕනෑ කියලා. ඒ ගැන ඔබ මොනවද හිතන්නේ....