Monday, March 24, 2014

(කිරි) සයුර....

     සරසවි මතක කීපයක් එස්සේ ලියැවුනු මගේ ලිපි පෙළට මොහොතක විරාමයක් දීලා වෙනත් ලිපියක් ලියන්නයි මේ උත්සාහය.

      දිනය :- 2014.03.17.
      වෙලාව :- පෙ.ව. 5.30

     මේ වෙලාවට සාමාන්‍යයෙන් මම සදුදා දිනයේ රාජකාරි සදහා යන්න මගේ සහ දියණියගේ ඇදුම් මදින වෙලාව. සුපුරුදු ලෙසම ඒ වැඩේ මම නිරතවෙලා සිටින අතර තුර දුරකථනය නාද උනා. ඇමතුම හුළුගල්ලේ බාප්පාගෙන්.මගේ පියාගේ ගමේ ඉන්න සහෝදරයා. එත් සාමාන්‍යයෙන් මට ඔහු කතා කරන වෙලාව මේක නෙවෙයි. මේ ඇමතුමේ විශේෂත්වයත් ඒකයි.

     මගේ පියා පවුලේ වැඩිමලා. දැන් වයස හැට හයක්. අප්පච්චිට බාල සහෝදරයෝ හතරයි. සහෝදරියෝ දෙන්නයි. ඒ කියන්නේ එක්කොම හත් දෙනෙක්. මගේ කිරි අත්තා ගැන මට හොද මතකයක් නෑ . හේතු කීපයක් ඒකට තියනවා. දැනට ඔහු මිය ගිහිල්ලා අවුරුදු විස්සකට වැඩියි. අනික අප්පච්චි ගමෙන් පිටවෙලා තිබුනේ කුඩා කාලෙමයි. අධ්‍යාපනය වගේම අයහපත් ආර්ථික පසුබිමත් කුඩා කාලෙම ගමෙන් ඇවිත් අප්පච්චිගේ මාමලා ළග ඉදගෙන පාසල් යන ගමන් ඔවුන්ගේ වැඩපලවලට සම්බන්ද වෙන්න සිදුවෙලා. කිරි අත්තා දැඩි මුරන්ඩු පුද්ගලයෙක්. හුගක් දෙනෙකුගේ කතාවලින් වගේම මටම ඒ පිළිබද අත්දැකීම් තියෙනවා. ඒත් මට යම්කිසි ආදරයක් තිබුන බව නම් කියන්න ඕනෑ. හේතුව සමහර විට මම ලොකුම මුනුපුරා වීම වෙන්න ඇති. කිරි අම්මා ගේ ගතිගුණ ඊට හාත්පසින්ම වෙනස්. ඇය දරුවන් හත් දෙනෙකුගේ කටයුතු ඉටු කළා වගේම ගොවිතැන් කටයුතුවලටත් කිරි අත්තාට සහය උනා. තිබුන ආර්ථික ගැලළුත් සමග මගේ අප්පච්චි වැඩිමලා විදියට සෑහෙන කැපකිරීමක් කරලා  පවුලට සාධාරණයක් කරන්න හැකිවුන බව අප්පච්චිම මා සමග අවස්ථා ගණනකම කියලා තියනවා. ඒත් කිරි අම්මා වැන්නියක් නොවෙන්නට පරිපාලන සේවයේ නිලධාරියෙක් , බැංකු කළමනාකරුවෙක් , වෛද්‍යවරයෙක් තමන්ගේ සහෝදර ගොන්නේ දකින්නට මගේ අප්පච්චිටත් හැකිවේ යැයි  සිතන්න බෑ. 

     මම කිරි අම්මාගේ චූටි මහත්තයාය. එම ඇමතීම පවුලේ අයට මා චුට්ටා බවට පත් වන්නට ඉවහල් වන්නට ඇත. කිරි අම්මා මා හට වැඩි සෙනෙහසක් දක්වන්නට හේතුව නම් මා වැඩිමල් පිරිමි මුණුපුරා වීම බව නිසැකවම දනිමි. එමෙන්ම මෑතක් වෙනතුරුම එකම මුණුපුරා ද වීමි.  මෑත අතීතයේ එක් දිනක කිරි අම්මා මා හට උපදෙස් කීපයක් දුන්නාය. ඒ මගේ මව් පියන්ට සැලකිය යුතු අන්දමයි. ඔවුන් මගේ බිරිද සමග අමනාපව සිටි අවස්ථාවන් වලදී කිරි අම්මා ඇය සමග අමනාප නොවුනි. එමෙන්ම අම්මලා සමග කතා බහ කර හොදින් සලකාගෙන සිටිය යුතු බව පෙන්වා දුන්නාය. කුඩා කළ ඇය මී හරක්ගෙන් කිරි දොවා මුදවන ලද කිරි අපට දුන් සැටි අදද සිහිපත් වේ. එහෙත් වසර පහලවක පමණ කාලයක පටන් ඇය නිරෝගී නොවුනි.  මාස කීපයකට වරක් සතියක් දෙකක් රෝහලේ නැවතීම සාමාන්‍ය කාරණයක් බවට පත්විය. 

      පවුලේ මුණුපුරු මිණුපිරියන් අතුරින් මා රැකියාවකට  ගිය මුල්ම  දෙදෙනාගෙන් එකෙකි. එකම දින ලොකු බාප්පාගේ දියණිය හා මම ලිපිකරු පත්වීම් ලැබීමු. ඇය සහ මම පත්වීම් ලැබීමට දින කීපයකට පෙර කිරි අම්මා බලන්නට ගොස් ආශීර්වාද ලබා ගතිමු. මා එවකට සරසවියේ පළමු වසරේය. ලොකු නංගී සරසවියට ඇතුල් වීමට ආසන්නව සිටියාය. එදිනද කිරි අම්මා දෙමව්පියන්ට සලකා බලා ගත යුතු බවට උපදෙස් දුන්නා අද මෙන් මතකය. ඉන් පසුව මා මුල් වරට ඇය බලන්නට ගමේ ගියේ වොයිල් සාරියක් හා සස්ටජන් ටින් එකක් රැගෙනය. ඒ මගේ අප්පච්චිගේ හා අම්මාගේ උපදෙස් පිටය. 

    මේ පිළිවෙලක් නැති විස්තරය ඔබට නොතේරෙනු ඇත. එහෙත් දුරකථන ඇමතුමට මා පිළිතුරු දීමට පටන් ගත් විට ඔබට සියල්ල වැටහෙනු ඇත.

    "බාප්පේ.."
    " අප්පච්චිලාගේ පෝන් එක වැඩකරන්නේ නෑ"
    " ඇයි බාප්පේ"
     " කිරි අම්මා නැතිඋනා...... අප්පච්චිට කියන්න...."
     "හ්ම්ම්......"

   මොහොතක් සිටි තැනම එක් ආකාරයෙන් සිටි මම පියවියට පැමිණියෙමි. කමිසයක්වත් නොමැතිව මෝටර් සයිකලයට නැගුන මම අප්පච්චි සොයා නැගෙනියගේ නිවසට ගියෙමි. ඔහු පාර අයිනේ මිදුල අතුගානු ඇතටම පෙනුනි. ඒ ඔහුගේ දින චරියාවය. කළුවරේම මිදුල අතුගා පිරිසිදු කිරීම ඔහුගේ සිරිතයි.  මා ඔහු අසලින් සයිකලය නැවැත්තුවෙමි. 

    " බාප්පා කථා කරා..."
    " කොයි වෙලාවෙද...?"
    " දැන් ටිකකට කලින්..."
    " ඇයි... කිරි අම්මා නැතිවෙලාද?..."
  මා කිවයුතු දේ ඔහු අසයි. ම හට කියා ගත නොහැකිව තිබූ දේ ඔහුම විමසීය.

    " ඔව්"

    ඉදල අතට ගෙන මොහොතක් නිසොල්මන්ව සිට අම්මාට කතාකර කියයි. 

   " මම යන්නම් අම්මත් එක්ක ... ඔයා එන්න "

   මම ආසු හැරීමි. 

 ශෝකය ප්‍රකාශ කළ ඥාති හිතමිත්‍රාදීන් මැද දැඩි කාර්යබහුලත්වයකින් යුතුව දින ගෙවී ගියේය.  කිරි අම්මා නොඑන්නටම ගියාය. එදින දෙනට ගිනි දැල්වූ පසුව මාස තුනකට පමණ පසුව විශාල වර්ෂාවක් වැටුනි. පිටියෙහි ඉතිරි වූ අප කීප දෙනෙකු නැහැවීමට එය සමත් විය. වැස්සේම අප ආපසු ආවෙමු. වෙනදාට නොදැනෙන පාළුවක් කිරි අමිමා නොමැති නිවසේ මට දැනුනි.

    හත් දිනේ දානය නිමවා අද ආපසු රාජකාරි සදහා පැමිණි මට මෙය නොලියාම සිටිනු නොහැකි වුනි. ලිපිය අවසන් කරමින් මෙලෙස ලියමි. ආදරණීය කිරි අම්මේ ඔබට නිවන් සුව..

    

Friday, March 7, 2014

සරසවි මතක 06

    හතරයි දශම එකයි.
 වැඩේ වැරදීගෙන එන බව වැටහුන මම ජේෂ්ඨයාගේ මුහුණ දෙස බැලුවා.
    ගහපිය පට්ට හු.......

    මම නැවතත් සුපුරුදු ආකාරයටම ක්‍රියාත්මක උනා...
    හතරයි දශම දෙකයි.
    හතරයි දශම තුනයි.
    .......
    .......
    හතරයි දශම අටයි එකයි.
    හතරයි දශම අටයි දෙකයි.
     හතරයි දශම අටයිතුනයි.
     .......
     .......
     හතරයි දශම නවයයි එකයි එකයි.
     .........
     .........
     දැන්නම් පර්සරයේ සියලු සීතල මැකී යමින් සිහින් ඩහදිය පාරක් කමිසයෙන් වැසී ඇති පිට දිගේ රූටාගෙන එනු දැනෙයි. අත් දෙකේ නකල්ස් යන්තමින් වෙව්ලනු දැනෙයි. ජේෂ්ඨයා තවමත් අණ දෙයි.
     
      හතරයි දශම නවයයි නවයයි එකයි.
හිතෙන් ගනන් කරමින්  මම ඩිප්ස් ගසමි. දැන් මගේ ගණනට අනුව නම් පනහද ඉක්මවා ඇත. එහෙත් ජේෂ්ඨයාට තවම පහක් නැත.
       පහයි.....
 
       දඩාස්...

       මගේ ශරීරය දරා ගැනීම ඉක්මවීය. මුනින් අතට ඩහදිය වැටී ඇති සිමෙන්ති පෙිළව මත ඇද වැටුනෙමි.

       මගේ අසල සිටි මිතුරෙකු මා වත්තන් කිරීමට ලං විය.
       "අහකට වෙයං." ඒ ජේෂ්ඨයෙකි.
       මා හට අණ දුන් ජේෂ්ඨයා ලං විය.
      උඹට අමාරුද....
       නැතැයි කීමට මම හිස වැනීමි. එහෙත් වචන පිට නොවුනේ හති දමමින් සිටි නිසාවෙනි. කෙසේ වෙතත් මොහොතක් මෙලෙස සිටීම හොදයැයි මම තීරණය කළෙමි.

      තවත් සුළු වෙලාවක් කාමරයේ රැදී සිටි ජේෂ්ඨයන් පිරිස පිටවී ගියහ.
      මිතුරෝ මා වටකර ගත්හ. මම තනිවම නැගිටීමි. සිතු තරම් මා දුර්වල නිවීමි. මහන්සිය හැරුන විට වෙනත් කිසිවක් නොවුනි. මේ වන විට අප අප පිළිබද තොරතුරු තරමත් දුරට දැන සිටිය අතර එකිනෙකා කෙරෙහි මිත්‍රත්වයක්ද ගොඩ නගා ගෙන සිටියහ.

      සමාවෙන්න හැට හය.

   ඒ පාර තවත් කරදරයක්.
    හිමෙන් සැරේ ‍ අපෙන් අයෙක් දොර ඇරියා.

    සරමක් හා කමිසයකින් සැරසුන ආගන්තුක අයෙක් දොර ළග.
    "රසික  මම උඹ හොයාගෙන ආවේ"

    මෙලෙස පැවසුවේ කොත්මලෙන් පැමිණි රසිකටය. අමුත්තා ඔහුගේ පාසල් මිතුරෙක් විය.

      හා.. හා. යමල්ලා රෑට කන්න... දැන් වෙලාව කීයද බලපන්..

     අපි නම් දැන් හොදට බඩ පුරා කාලයි ඉන්නේ.

      නවය පහු උනොත් කැන්ටිමේ මොනවත් නෑ.... දැනටත් මාර පෝලිමක් තියෙන්නේ...  යමන් යමන්...

     ඔහු පැරණි සිසුවෙක්ද.. ඔහු මේ පිළිබද තොරතුරු ඔහු දැනගත්තේ කොහෙන්ද....ප්‍රශ්න ගනනාවකි.

     කෙසේ වෙතත් ප්‍රශ්න කොකර අපි මුදල් ද ගෙන ඔහු සමග ආපන ශාලාව කරා ගියෙමු. අතරමග දී හමුවූ නාන කාමරයෙන් මුහුණ සෝදා ගෙන පෝලිමට එක්වීමට  අපට හැකි විය. ඒ වනවිටද සියයක පමණ පිරිසක් පොලිමේ විය. කාමර 144 ක පිරිස කොපමණද යන්න ඔබට සිතා ගත හැකි වනු ඇත. සියයක එකසිය පණහක පිරිසක් ආපන ශාලාව ඇතුලේ සිටි බව පෙනුනි.

       පොලිමේ සිටින අතර තුර දී ජේෂ්ඨ සිසුන් වෙනත් පීඨවල සිසුන් අපෙන් විවිධ ප්‍රශ්න අසයි. ගීත ගැයීමට පවසයි. හදුනන කිසිවෙකුත් නොමැති බැවින් සියල්ලෝම ජේෂ්ඨයන් ලෙස පෙනේ. අපේම නවකයන්හටද අප බියවේ. සැම අයෙකු දෙසම සැකමුසුව බැලීමු. වචනයක් පිට කීරිමට කිහිප වරක් සිතා බලයි.

  පැය කාලකට පමණ පසු මගේ වාරය ආවේය. මගේ මිතුරන් මාලු කෑම මිලදී ගත්තත් මම " එළවළු" කියා ඉල්ලුවෙමි.
        රුපියල් හයක් දෙන්න.. විශ්වාස කළ නොහැකි බැවින් මම යලිත් කීයදැයි විමසුවෙමි. "රුපියල් හයයි"

මම රුපියල් දහයක් දී ඉතිරි ලබා ගතිමි. එළවළු කෑම ඉල්ලුවේ මිල ගැන සිතා නොව කෑම පිළිබද හරිහැටි නොදන්නා නිසාවෙනි. හිල්ඩා කැන්ටිමේ බත් අන්තිමයි කියා අසා ඇති නිසයි.

      බත් පිගාන ගෙන මිතුරෙකු සොයා යාමට අදහස් කළත් අවකාශයක් නොවීය. "ඒයි ප්‍රෙශ් මෙහෙ වරෙන්.." මග හැරිය නොහැකි ජේෂ්ඨයෙකුගේ ඇරයුමක්.

      සුභ සැන්දෑවක් ජේෂ්ඨතුමා...
    මුලින්ම සුභ පැතුවෙමි. ඊළග වචනය කුමක්දැයි මම දනිමි.

     සුභ වෙන්නේ කොහෙද තොපි ඇවිල්ලා අද අපිට කන්න දෙයක්වත් නෑ .... හ්ම්... ඉදගනින් කන ගමන් උඹේ පවුලේ අය ගැන විස්තරයක් කරපන්....

       දැන් සමහර දේ හුරුය. මගේ නම ..... මගේ ගම....... මම අණුඩර කෑවේ.......... මැද අණ්ඩර කඩේ. මම අණුඩර කෑවේ... සූරා කෑම... මව් බස...මට සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. ඒ අය තවම අණ්ඩර කනවා...
මගේ තාත්තා රටට කන්න දෙනවා. අම්මා ගෙදරට වෙලා හුලං බොනවා. මම විස්තරය දිගටම කරගෙන යමි. තරමක් එහායින් හුරු පුරුදු කටහඩක් ඇසේ . අනුමානය නිවැරදි නම් ඒ කුලේ විය යුතුය. ඔහු ගැන තොරතුරක් දැනගීමට නැතිව සිතේ තිබුන කැළඹීම තුරන් විය. එහෙත් ඔහුද මා මෙන්ම තවකෙකුට විස්තරයක් කියයි. විටක ඔහු ඉදිරිපිට සිටින ජේෂෟඨයා සිනා සෙයි. විටක ලංවී කුණුහරපයෙන් බැන වදී. මට ඔහු හා කත‍ා කිරීමට හැකියාවක් නැ. කෑම නිමවා යාමට මත්තෙන් කෙසේ හෝ ඔහු හමුවීමට ඉටා ගත්තෙමි.

      මා ඉදිරිපිට සිටි ජේෂ්ඨයා නැගිට ගියමුත් කුලේ ළගට යා නොහැකිය. ඔහු මා දැක ඇත. මම ඔහුට සිනාවක් පෑ මුත් ඔහු ප්‍රතිචාර නොදැක්වීය.

      එක් වරම කාමරයේ දී හමුවූ නපුරු මුහුණක්  ඇති ජේෂ්ඨයා මා ඉදිරිපිටින් ඉද ගත්තේය.

මතු සම්බන්ධයි.....
       



Monday, March 3, 2014

සරසවි මතක 05.

      පසුගිය ලිපියේ දී පින්තූර ටිකක් පළකරලා සරසවියේ සුන්දර ස්ථාන කීපයක් ඔබට දැකගන්න අවස්ථාව සැලැසුවා.ඒ රාජකාරි වටපිටාව සමග දිගු ලිපියක් ලියන්න අවස්ථාවක් නොමැති කම හේතුවෙන් යමක් නොලියා බැරිකමට තාවකාලිකව කළ පිළියමක්. මීට වඩා සුන්දර ස්ථාන සරසවියේ තියනවා. ඒ වගේම විවිධ ස්ථානවලට සම්බන්ධ කතා ප්‍රවෘත්ති ඒ ඒ ස්ථානවලට නම් පටබැදුන ආකාරය වාගේ දැනගන්න කරුණු ගොඩක් තියෙනවා. පුළුපුළුවන් විදියට ඒ දේවල් ඉදිරියේදි ඉදිරිපත් කරන්න බලන්නම්.

     වෙලාවකට හිතෙනවා ලිපි දිග්‍ු වැඩිද කියලත්. උපරිම කෙටියෙන් තමයි මේ ලියන්නේ . මීට වඩා කෙටි කරොත් රසයට හානි වෙන්න ඉඩ තියෙනවා. කෙසේ වෙතත් ඔබේ ප්‍රතිචාර මත ඒක වෙනස් කරන්නම්.

     කැවුම් දුන් පියා ගියාට  පසසේ උන දේ ගැන දැන් ලියන්නම්.

     ඊට පස්සේ ආවේ යමපල්ලෝ ටිකක් කියලයි ඒ දවස්වල නම් හිතුනේ. ඒත් ටික දිනක් යද්දි ඒ අදහස් වෙනස් උනා.

    " දොර ඇරපන් sixty six " කියලා ඇතුලට ආව පිරිසක් (හතර දෙනෙක් විතර මතකේ හැටියට) ඊළගට අපිව ( මේ වෙද්දී අපි හය දෙනෙක් 66 කාමරේ ඇතුලේ හිටිය භව ඔබට මතක ඇතැයි සිතමි.) වෙන වෙනම අල්ලා ගෙන ප්‍රශ්න කරන්න ගත්තා . ඒ පිරිසෙන් එක් අයෙකු පෙනුමින් ටිකක් නුපුරු ගතියක් පෙනුන අයෙක්. ඔහු අවේ මගේ ළගට.

     ගම කොහේද?
     කුරුණෑගල....
ඒයි... ජේෂ්ඨයා.. මේන්.... බොරුකාරයෙක්... තොපි යකෝ ආගම විකුණාගෙන කන එවුන්නේ.. කාලයක් නිකවැරටිය මීවැල්ලාව.. කාලයක් දොළුකන්ද .. ලැජ්ජාවක් නැද්ද යකෝ.. තොපිට...

     කුරුණෑගල කොහේද.... කියපන්...
    දැන් නිකවැරටිය කීවොත් තවත්  දේවල් අසා ගත හැකිය. මීටරය දමා "ආණමඩුව " කීවෙමි.

   ආණමඩුවෙ....
    ඉගිණිමිටියෙ....

    හ්ම්... පවුලේ කීයද...
   තුනයි...මමයි.. අක්කයි.. නංගියි...

    මම ඇහුවද? පැනල දෙන්න එපා... අම්මයි.. තාත්තයි.. උඹේ පවුලේ නෙමෙයිද ?
    වරද මගේය කරබා ගතිමි.

    උඹ පොරක්ද? 
    නෑ....
     වෙන්න බෑ.. උඹ පොරක් තමයි... කුරුණෑගල එවුන් මේකේ පොරවල් වෙන්න බෑ... හරිද  

    ඇයි..ඒ.. අහන්න සිතුනත් සෞඛ්‍ය ගැන සිතා  නිහඩ වූයෙමි.
     මේ අතර තුර මගේ සගයන් ගැන ඇස යැව්වෙමි. ඒ වන විට කොත්මලේ මිත්‍රයා ඇනගෙන තිබුනි. ඔහු      ඇදක් යටින් රිංගා මකුළුදැල් ඔටුන්නක් හිසේ පළදවාගෙන තිබුනි. තවත් එකෙක් පොලොන්නරුවේ මිත්‍රයා මඩවයි. දෙහිඅත්තකන්ඩියේ ජයතිලක ගිනිකූරක් ගෙන ඇදේ දිග මනිනු දුටුවෙමි.

     උඔ මොනවද A/L වලට කෙරුවේ... එක්වරම තිගැස්සුනේ නපුරු ජේෂ්ඨයාගේ හඩිනි.

     සිංහල...පොලිටිකල්...
     කැවුම් දුන් පියාගේ උපදෙස් අමතක වී කඩුව භාවිතා කළ බව දැනුනත් දිගටම කියාගෙන යද්දී..

     ජේෂ්ඨයා මේ අහපන්කො අමුතු  වගයක් නේ මූ කරලා තියෙන්නේ ..
     සියලලෝම මදෙස හැරී බලයි..
     හ්ම්.. ගහපන් ඩිප්ස්.. පහක්...
      මම ඔහුගේ මුහුණ දෙස බැලීමි. එය බැලිය නොහැකි තරම් තරහින් පුපුරණු පෙනේ...
  
      ගහපිය.... හු.......

   තවත් ශුද්ධ සිංහල වදන් පිටවීමට මත්තෙන් බිමට පාත් වුනෙමි.
    ඩිප්ස් පහයි ... නේ...

   එකයි...
    දෙකයි...
      තුනයි...
 ජේෂ්ඨයා ගනන් කරයි....
       හතරයි...
  මගේ අත්දැකීම් අනුව ඩිප්ස් පහක් එතරම් අමාරු කාරියක් නොවේ . සමහර විටක විසිපහක් තිහක් ගසා ඇති මට මෙය අසීරු කාරියක් නොවේ. ගෙදරදී දිනකට පනහක් පමණ ගසා ඇති දිනද ඇති මගේ මතකයේ ඇත.
ඒ අනුව බලන විට මෙය ඉතා පහසු කටයුත්තකි. එකවර ඩිප්ස් පහක්.

මතු සම්බන්ධයි.




   

   


Friday, February 21, 2014

සරසවි මතක 04

සරසවි මතක ලිපි පෙළට පින්තූර කීපයක් එකතු කරන්න හිතුනා . බලන්න මේ පින්තූර ටික ලස්සනයිද කියලා.








තවත් පින්තූර තියනවා. සමහර කතාවලට අදාල ස්ථානවලදී ඒවා ඉදිරිපත් කරන්න බලා පොරොත්තු වෙනවා. මේ පින්තූර මම ගත්ත ඒවානම් නෙවෙයි. ඒත් හරිම ලස්සන පින්තූර ටිකක් නේද? ඇත්තටම අප්‍රේල් මැයි ජුනි වගේ මාසවලදී නම් ආයේ බලන්න හරිම ලස්සනයි . මුලු සරසවියම මලින් වැහිලා යනවා. ඉදිරියේ දී තවත් කතා සමග හමුවෙමු.

Sunday, February 2, 2014

සරසවි මතක.... කැවුම් දුන් පියා....

        දිග කාලයකට පස්සේ නැවතත් නිදහස් සිතිවිල්ලකට යන්නට අවකාශයක් ලැබුනා. පසුගිය කාලයේ මගේ පෞද්ගලික ගැටලු කීපයක් නිසාවෙන් බ්ලොග් එකට එන්න අවස්ථාවක් උනේ නෑ ඒ වගේම කොම් එකත් කැඩිලා තිබුනා. එකත් ලිපියක් නොලියවෙන්න එක හේතුවක්.

       දැන් කතාවට බහිමුකෝ.....

       මගේ මිතුරෙක් කාමරයේ දොර ඇරියා . අපේ බලාපොරොත්තුව ඉටු වෙමින් පැවතුනා.  අපිව සොයාගෙන අපි බලන්න නෑගම් ආ වැඩිමල් සොයුරෙක්. ඔව් ඇත්තටම වැඩිමල් සොයුරෙක්.  මුලින්ම අපේ සුභපැතීම. ( මේක අනිවාර්ය රීතියක් ජේෂ්ඨයෙක් හමු වුන විටකදී සුභපැතිය යුතුයි. නවකයින්ට මේක අනිවාර්ය උනා.මමත් අත්දැකීම් ඇති අපේ අය කළ දේම කළා )  ඉන්පසුව අපගේ අවසරයකින් තොරවම ඇතුලට ඇවිත් මේසය උඩ ඉදගත්තා. ඊට පස්සේ අපිව දිහාවෙ යන්තමට බලන ගමන් කාමරය පුරාම විමසිලිමත් දෙනෙත යැව්වා. ටික වෙලාවක් නිහඩව සිට කතාව පටන් ගත්තා.

      හ්ම්.... මල්ලිලා කියපල්ලා තමුන් ගැන විස්තරයක්.... කෙරවලකින් පටන් ගනින්...

     අපේ සගයෙක් පටන් ගත්තා... මගේ නම චමින්ද .... මම ආවේ පොලොන්නරුවේ ඉදලා... මම අධ්‍යාපනය ලැබුවේ .......

     ඇති ..... ඇති.... යකෝ උඹලට තවම මේකේ කතාකරන්නවත් තේරෙන්නේ නෑ...නේ... උඹලා බන් මීටරෙන්ද ආවේ... මෝටරෙන්ද? ඈ බන් තාම උඹලට නමක්වත් නැද්ද ... මැදැයි මමත් හාහාපුරා කියලා ආවා කොල්ලෝ ටිකක් අදුනාගන්න... උඹල දවල්ට කාලද? ඒක කියහංකො ඉස්සෙල්ලම....

      දැන් නම් ටික ටික හොද වේගන එන බව මා ඇතුළු සියළුම දෙනාට අවබෝධ වෙමින් පැවතුනා. කෙසේ වෙතත් අපි හැමෝම ඒ වන විට දිවා ආහාරය සදහා මොනවා හෝ යමක් බඩට දමා ගෙන සිටි බැවින් ඒ බව දන්වා සිටියා.  

      හරි උඹලා ආව පළවෙනි දවසනේ ... අදට සමාව තියනවා... මේ ටික හරියට අහගනිල්ලා.  මේක උඹලා මෙතෙක් හිටිය ලෝකේ නෙවෙයි... හරිද... උඹලට වෙල්කම් එක දෙනකන් මේකේ උඹලා ජුන්ඩෝ... එතකන් උඹලට ඉන්ග්ලිශ් යූස් කරන්න බෑ.. එක් හොදටම මතක තියා ගනිල්ලා.. අනිත් එක පද්ධතියට අදාල උපසංස්කෘතියක් තියෙනවා... ඒකේ වචන සෙට් එක හරියට අල්ලාගන්න  ඕනෑ.. මේකේ මැනස් තියනවා.. ‍ජෙනරල් මැනස්.. හෝල් මැනස්.. ලෙක්චර් මැනස්.. අනික මේකේ තියරි තියනවා.. මැනස් තියරි කඩන්න බෑ ඒවට දඩුවම් ලැබෙනවා... උඹලට ආදරේටයි මේ ටික කියන්නේ මේකෙ අල වෙන්නේ නැතිව තමන් ආව වැඩේ ගොඩ දාගන්න  ඕනෑ... ඒත් එක්කම විදින්න තියෙන දේවල් වින්දට කමක් නෑ.. 

       ජේෂඨයා දිග දේශනයක් දෙයි. කියන දේවල් ටිකක් තේරුණත් සමහර දේවල් නම් ග්‍රීක් වගේ. හැම එකටම අපිත් ඔලුව වනමින් එකගත්වය පළකළ බව පෙන්වීමු.  

       කතාව අතරතුර ඔහු බෑගය හැර පාර්සලයක් ගෙන අපි අතට කැවුම බැගින් බෙදයි. අපි එය අතේ තබාගෙන සිටින බැවින් ඔහු  මේකත් ‍එක තියරියක් තමයි.... වෙල්කම් එක දෙනකන් අපි දෙන දේවල් උඹල කන්න ඕනෑ.. අපි කියන දේවල් කරන්න ඕනෑ... ඒත් උඹලා දෙන දේවල් අපි කන්නේ නෑ.. උඔල නාවලා ගන්නකම් උඹල අපිරිසිදුයි.එතෙක් උඹලත් එක්ක අපේ ගනුදෙනුවක් නෑ...  මේකට ගැලපෙන්න හැදෙන්න තමයි ඉතිං ඉදිරි කාලය  තියෙන්නේ...  උඔල මේකට ගැලපෙන පිරිසක් වෙන තුරු වෙල්කම් දෙන්නෑ... හ්ම්.. දැන් නම් රෑ වෙන්නත් එනවා හොදට මතක තියා ගනිල්ලා රෑට නම් තනියම කොහේවත් යන්න එපා . අඩුම ගනනේ තුන්දෙනෙක්වත් එකට යන්න මතක තියාගනිල්ලා. උඹලගේ ජේෂ්ඨයෝ හොදට හදුනා ගනිල්ලා...මම දැන් යන්නම්.. මාවත් මතක තියා ගනිල්ලා.. කවුද මම.... කවුද .... කැවුම් දුන් පියා.. මතකනේ....  

   ඔහු යන්න ආපසු හැරුණත් එවිටම... එක්ස්කයුස් මී... යන හඩක් හා කාමරයේ දොරට තට්ටු කරන හඩක් ඇසුනි.  මෙවිට කාමරයේ දොර හරින ලෙස අතින් සංඥා කළ අපේ කැවුම් දුන් පියා... තරමක් පැත්තකට විය.


   ආ... කොහොමද මල්ලිලා.. යනුවෙන් අමතමින් පිරිසක් (තිදෙනෙක් පමණ) කාමරයට ඇතුල් උනත් අපේ කැවුම් දුන් පියා දුටු ගමන් ආ.. ජේෂ්ඨයා  හරි.. හරි.. අපි යන්නම් යනුවෙන් ඔවුන් ආපසු හැරුණි.

     ඔවුන් ආපසු ගියේ අප සමග සිටි ජේෂ්ඨ සිසුවා හදුනාගත් නිසිවෙනි. එවිට ඔහුට භාදා නොකර ඔවුන් ආපසු  ගියේ ඔහු ඔවුන්ගේද වැඩිමල් සිසුවෙකු නිසා විය යුතුය. කෙසේ වෙතත් පසුව පැමිණි පිරිසගෙන් අප ගැලවුනේ කැවුම් දුන් පියා නිසාවෙනි. ඒත් කොතරම් කාලයකටද?..... ටික වේලාවකට පසු කැවුම් දුන් පියා අපගේ ආරක්ෂාව පිළිබද නැවතත් උපදෙස් දෙමින්  අපෙන් සමුගත්තේය.

      ඔහු පිටත්ව ගොස් ටික වේලාවක් යනතුරුම නිහඩව සිට යලි අපි පකෘත්තියට පැමිණියෙමු. දැනගත යුතු දේ බොහෝ බවත්. ඉතාමත් පරිස්සමෙන් ඉදිරි කාලය කටයුතු කළ යුතු බවත් සියළු දෙනාටම අවබොධ වී තිබුනි.

       නිවසින් පිටවී නන්නාදුනන පිරිසක් සමග ගෙවෙන පළමු රාත්‍රිය කෙසේ වේවිද? මෙන අත්දැකීමකට මුහුණ දෙන්නට සුදු වේවිද සිත තුළ ගැටළු ගනනාවක් පැන නගිමින් පවතී. තරමක සීතල තත්වයක් දැනුනු බැවින් අත් දිග කමිසයක් හැද නැවතත් මිතුරු පිරිස සමග එක්වීමි.

ඊළගට  රාත්‍රිය ගතවූ හැටි........