Monday, March 3, 2014

සරසවි මතක 05.

      පසුගිය ලිපියේ දී පින්තූර ටිකක් පළකරලා සරසවියේ සුන්දර ස්ථාන කීපයක් ඔබට දැකගන්න අවස්ථාව සැලැසුවා.ඒ රාජකාරි වටපිටාව සමග දිගු ලිපියක් ලියන්න අවස්ථාවක් නොමැති කම හේතුවෙන් යමක් නොලියා බැරිකමට තාවකාලිකව කළ පිළියමක්. මීට වඩා සුන්දර ස්ථාන සරසවියේ තියනවා. ඒ වගේම විවිධ ස්ථානවලට සම්බන්ධ කතා ප්‍රවෘත්ති ඒ ඒ ස්ථානවලට නම් පටබැදුන ආකාරය වාගේ දැනගන්න කරුණු ගොඩක් තියෙනවා. පුළුපුළුවන් විදියට ඒ දේවල් ඉදිරියේදි ඉදිරිපත් කරන්න බලන්නම්.

     වෙලාවකට හිතෙනවා ලිපි දිග්‍ු වැඩිද කියලත්. උපරිම කෙටියෙන් තමයි මේ ලියන්නේ . මීට වඩා කෙටි කරොත් රසයට හානි වෙන්න ඉඩ තියෙනවා. කෙසේ වෙතත් ඔබේ ප්‍රතිචාර මත ඒක වෙනස් කරන්නම්.

     කැවුම් දුන් පියා ගියාට  පසසේ උන දේ ගැන දැන් ලියන්නම්.

     ඊට පස්සේ ආවේ යමපල්ලෝ ටිකක් කියලයි ඒ දවස්වල නම් හිතුනේ. ඒත් ටික දිනක් යද්දි ඒ අදහස් වෙනස් උනා.

    " දොර ඇරපන් sixty six " කියලා ඇතුලට ආව පිරිසක් (හතර දෙනෙක් විතර මතකේ හැටියට) ඊළගට අපිව ( මේ වෙද්දී අපි හය දෙනෙක් 66 කාමරේ ඇතුලේ හිටිය භව ඔබට මතක ඇතැයි සිතමි.) වෙන වෙනම අල්ලා ගෙන ප්‍රශ්න කරන්න ගත්තා . ඒ පිරිසෙන් එක් අයෙකු පෙනුමින් ටිකක් නුපුරු ගතියක් පෙනුන අයෙක්. ඔහු අවේ මගේ ළගට.

     ගම කොහේද?
     කුරුණෑගල....
ඒයි... ජේෂ්ඨයා.. මේන්.... බොරුකාරයෙක්... තොපි යකෝ ආගම විකුණාගෙන කන එවුන්නේ.. කාලයක් නිකවැරටිය මීවැල්ලාව.. කාලයක් දොළුකන්ද .. ලැජ්ජාවක් නැද්ද යකෝ.. තොපිට...

     කුරුණෑගල කොහේද.... කියපන්...
    දැන් නිකවැරටිය කීවොත් තවත්  දේවල් අසා ගත හැකිය. මීටරය දමා "ආණමඩුව " කීවෙමි.

   ආණමඩුවෙ....
    ඉගිණිමිටියෙ....

    හ්ම්... පවුලේ කීයද...
   තුනයි...මමයි.. අක්කයි.. නංගියි...

    මම ඇහුවද? පැනල දෙන්න එපා... අම්මයි.. තාත්තයි.. උඹේ පවුලේ නෙමෙයිද ?
    වරද මගේය කරබා ගතිමි.

    උඹ පොරක්ද? 
    නෑ....
     වෙන්න බෑ.. උඹ පොරක් තමයි... කුරුණෑගල එවුන් මේකේ පොරවල් වෙන්න බෑ... හරිද  

    ඇයි..ඒ.. අහන්න සිතුනත් සෞඛ්‍ය ගැන සිතා  නිහඩ වූයෙමි.
     මේ අතර තුර මගේ සගයන් ගැන ඇස යැව්වෙමි. ඒ වන විට කොත්මලේ මිත්‍රයා ඇනගෙන තිබුනි. ඔහු      ඇදක් යටින් රිංගා මකුළුදැල් ඔටුන්නක් හිසේ පළදවාගෙන තිබුනි. තවත් එකෙක් පොලොන්නරුවේ මිත්‍රයා මඩවයි. දෙහිඅත්තකන්ඩියේ ජයතිලක ගිනිකූරක් ගෙන ඇදේ දිග මනිනු දුටුවෙමි.

     උඔ මොනවද A/L වලට කෙරුවේ... එක්වරම තිගැස්සුනේ නපුරු ජේෂ්ඨයාගේ හඩිනි.

     සිංහල...පොලිටිකල්...
     කැවුම් දුන් පියාගේ උපදෙස් අමතක වී කඩුව භාවිතා කළ බව දැනුනත් දිගටම කියාගෙන යද්දී..

     ජේෂ්ඨයා මේ අහපන්කො අමුතු  වගයක් නේ මූ කරලා තියෙන්නේ ..
     සියලලෝම මදෙස හැරී බලයි..
     හ්ම්.. ගහපන් ඩිප්ස්.. පහක්...
      මම ඔහුගේ මුහුණ දෙස බැලීමි. එය බැලිය නොහැකි තරම් තරහින් පුපුරණු පෙනේ...
  
      ගහපිය.... හු.......

   තවත් ශුද්ධ සිංහල වදන් පිටවීමට මත්තෙන් බිමට පාත් වුනෙමි.
    ඩිප්ස් පහයි ... නේ...

   එකයි...
    දෙකයි...
      තුනයි...
 ජේෂ්ඨයා ගනන් කරයි....
       හතරයි...
  මගේ අත්දැකීම් අනුව ඩිප්ස් පහක් එතරම් අමාරු කාරියක් නොවේ . සමහර විටක විසිපහක් තිහක් ගසා ඇති මට මෙය අසීරු කාරියක් නොවේ. ගෙදරදී දිනකට පනහක් පමණ ගසා ඇති දිනද ඇති මගේ මතකයේ ඇත.
ඒ අනුව බලන විට මෙය ඉතා පහසු කටයුත්තකි. එකවර ඩිප්ස් පහක්.

මතු සම්බන්ධයි.




   

   


No comments:

Post a Comment