Thursday, September 19, 2013

සරසවි මතක 02.

          සරසවි මතක ලිපි පෙලේ දෙවැන්න අද පටන් ගන්න හිතුවා. ඉතිං වසර ගනනාවක් පාසල් අධ්‍යාපනය ලබා ඒ තුළින් ලබාගත් දැනුම පැය කීපයකින් අගයමින් කළ පරීක්ෂණයක් හරහා සරසවියට තෝරා ගන්නා අතලොස්සෙන් එකෙක් වීමේ භාග්‍යය ලැබූ මම, අද ඒ ගමනේ තවත් එක් සන්ධිස්ථානයක.

        ශාලාවට ඇතුල් වෙද්දීම සිටි සොයුරන් කීප දෙනෙක් අප ඒ ආසන්නයේම තිබූ එක්තරා ශාලාවකට රැගෙන ගියා. ( පසුව දැනගත්තේ එය Common Room බව ) එහිදී ඔවුන් අපේ තොරතුරු විමසන ගමන් සංග්‍රහයක්ද කරනු ලැබුවා. ඉතාම සුහද ලෙස දයාබරත්වයෙන් හා සහෝදරත්වයෙන් ඇමතනු ලැබුවා. හැමදේම ඉතාම හොදින් . සමහර අයගේ දෙමව්පියන් ජේෂ්ඨ සිසුන් අගයමින් කතා කරනවා. දරුවන්ගෙන් වෙන්ව යන සමහර අය අඩනවා . මෙතැනදී මට සහ මිතුරු කුලේට වෙනස් අත්දැකීම්. හේතුව අපි සමග ‍නිවසින් පැමිණි කිසිවකුත් නොමැකිකම නිසාවෙන්.

       අපි දෙදෙනා සමග කතා කළ එක් ජේෂ්ඨ සිසුවෙක් අපිව දෙතැනකට යවනු ලැබුවේ එක් ප්‍රදේශයකින් පැමිණි අප එක්ව සිටීම සුදුසු නැති බව පවසමින්. තරමක් අකමැත්තෙන් උනත් ඒ දේ බාරගන්න උනා. සංග්‍රබ වලින් අනතුරුව අපි නේවාසිකාගාරයේ කාමරවලට යැවීම සදහා රැගෙන ගියා. එහිදී ශාලාධිපතිතුමා විසින් අංක 66 කාමරයට මා සමග තවත් දෙදෙනෙක් නම් කර ඊට අදාල වාර්ෂික ගාස්තු අයකරනු ලැබුවා. එමෙන්ම කාමරයට අදාල යතුරු හා බල්බ් 03 ක් ලබා දුන්නා.

      මා සමග සිටි දෙදෙනාගේම පියවරුන් යැයි සිතිය හැකි දෙදෙනෙක් ඔවුන් සමග සිටියත් මා රැගෙන ආ බෑගය ‍කරේ දමාගත් මා ඔවුන්ට එකතු උනා. අපේ කාමරය පෙන්වීම සදහාද අප සමග අයෙක් පැමිණියා. පිය ගැට පෙළක් ඔස්සේ ඉහලට නැගුන අප දෙවැනි ගොනැගිල්ලේ දෙවන මහලට ඇතුළු උනා.  පසු පසින් ම පැමිණි මා පසුකර යන එක් ජේෂ්ඨ සිසුවෙක් යැයි සිතිය හැකි අයෙක් "මල්ලී ගෙදරින් කවුරුත් ආවේ නැද්දැයි" ඇසුවා. 

     මම " නෑ අදනම් ආවේ නෑ. හෙට පවත්වන පිළිගැනීමේ උත්සවයට ඒ අය එනවා අයියේ " යනුවෙන් උත්තර දුන්නා. 

      " අයියේ.... ඈ බොල පට්ට ....ත්තෝ... හිටපන් රෑ වෙනකම් හොද පිළිගැනීමක් දෙන්න." යනුවෙන් දුන් පිළිතුරෙන් මා අන්දමන්ද වී ගියා. 

      මින් ඉදිරියට කතා කළ යුතු ආකාරය පිළිබදව, ඉදිරියේ දී මුහුණ දිය යුතු දේවල් පිළිබදව,  මීට වඩා කල්පනා කාරී විය යුතු බව මසිතට නිතැතින්ම නැගුනා. ඒ කල්පනාවෙන් යුතුවම 66 කාමරයට ඇතුළු උනේ මින් ඉදිරියට වසරක කාලයක් නිවහන වන්නේ මෙයම නොවේද යන අදහසත් ඇතිවමයි.

මතු සම්බන්ධයි.

ප.ලි. - මින් ඉදිරියට ලියන ලිපිවලදී සරසවි උප සංස්කෘතියේ වචන හා අසභ්‍ය යැයි සම්මත වචන භාවිතා වන බව සැලකුව මනාය.


Monday, September 9, 2013

කතන්දර 01

අද කතන්දර කීපයක් ලියන්න හිතුනා. මේ කතන්දරවලින් සමහර ඒවා මගේ මිතුරු අසංක ගේ නිර්මාණ.  ඒ නිසා ඔහුවත් මතක් කිරීම මගේ යුතුකමක්. කතන්දර හොදයි නම් යටින් සටහනක් තියන්නත් ඔබට අවස්ථාව ඇති බව මතක් කරනවා.

01. මැරතන් සිරා...

       මේ කතාව මීට වසර 15කට වඩා අතීතයේ ඇත්තටම සිදුවුන එකක් බව අසංක කියනවා. කතාවේ කතානායකයාගේ නම සිරිසේන. වැඩිපුරම ප්‍රසිද්ධ මැරතන් සිරා යන නමින්. හේතුව මේ පුද්ගලයා දිවීමට හපන්කම් දක්වන්නෙක් වීමයි. සිංහල අවුරුදු කාලෙට තියන අවුරුදු උත්සවවල ගම හරහා දිවීමේ තරගයක් ඇත්තේ කොතැනද සිරා අනිවාර්යෙන්ම එතැන ඇති. ඒ වගේම ජයග්‍රහණය අනිවාර්යෙන්ම ලැබෙන්නෙත් ඔහුටමයි.  සමහර තරගකරුවෝ ඔහු ඊන්නවනම් ආපසු ගිය අවස්ථාත් තියනවා. මේ දිවීමේ දක්ෂකම ඔහු පුහුනුවකින් ලබා ගත් දෙයක් එහෙම නම් නෙවෙයි. සහජයෙන්ම ගෙනාව දෙයක් තමයි. වැව් පිටිවල , වෙල් ඉපනැලිවල, හෙන්කනතු දිග, ගස් මුල් අස්සේ දිවීමෙන් ඉබේ ලැබුන පුහුණුවක් කීවොත් වඩාත් නිවැරදියි.

       ඉතින් දවසක් රෑ දෙගොඩහරි ජාමේ මගේ මිතුරා තවත් යාළුවෙකුත් සමග ගමනක් ගිහින් පා පැදියෙන් ආපසු ගෙදර එනවලු. ඔන්න එතකොටම මේ අපේ සිරා හති දාගෙන දුවනවලු. මේක තරගෙකට දුවන දිවිල්ලක් නොවෙන විත්තිය දන්න නිසාවෙන් මේ දෙන්නත් කඩිමුඩියේ මේ දුවමන මොකක්ද කියලා බැලුවා. බයිසිකලය ආපු හරවා ගෙන දෙන්නා පදිනවා සිරා දීව පැත්තට. ඔන්න ඉස්සරහින් සිරා දුවනවා පේනවා. එක්කෙනෙක් කටහඩ අවදි කළා.

    යාළුවා : සිරායියේ.... කොහෙද මේ මහ රෑ.... මොකද හදිසියක්ද...

    සිරා      : මහත්තයලා හදිස්සියක්ද කියලා අහනවා... මම... මේ පේනනේ නැද්ද ...දුවනවා...( හති දමමින්)

    යාළුවා : ඇයි ඇයි බන් සිරායියේ.... මොකක්ද ප්‍රස්නේ කියපන් කියපන් ...

    සිරා      : මහත්තයලා කතා කර ඉන්න වෙලාවක් නෑ... ( හති දමමින්) මට මාර වැඩේනේ උනේ...

     යාළුවා : හරි හරි ... ටිකක් නතර වෙලා කියපන්කෝ  ... මෙකද උනේ කියලා...

     සිරා   : (දුවමන නතර කරමින්) මගේ ගෙට හොරු පැන්නනේ... මේ දැන් ටිකකට කලින්....

    යාළුවා : කෝ.. කෝ හොරු කෙහේටද දිව්වේ මේ පැත්තටද.... යං... යං..අල්ලන්න... නගින්න සයිකලේට..

     සිරා :  මහත්තයා උන් දනනෑ වැරදි මිනිහා එක්කයි දුවන්න ආවේ කියලා උන් පහුවෙලා හුගක් වෙලා උන් කෙහේ දුවන්නද මාත් එක්ක.... ( හති දමමින්)

කතන්දර 01.

      අද ලිපිය සදහා කතන්දරයක් ලියන්න ඕනෑ කියලා හිතුව නිසා මම  මගේ මතකයේ තියෙන පැරණි කතාවක් ලියනවා. මේ කතාව කියද්දි අසංක කියන මගේ යාළුවා  අමතක කරන්න බෑ. හේතුව මට මේක කිව්වේ අසංක.

 01. බණ්ඩා සහ හාමු (කලවං නෙවෙයි.)

        විල්සන් හාමු එහෙම නැත්තං බේබි හාමු කියන්නේ ඒ කාලේ වලව් පරම්පරාවකින් පැවත ගෙන ආපු සෑහෙන් ප්‍රමාණයක වත්කමක් තිබුන ගම් පළාතේ (හොද /නරක) නමක් හදා ගත්ත පුද්ගලයෙක්. මේ හාමුට තිබුනා ලොකු පොල් වත්තක්. අක්කර 25 ක් 30 ක් පමණ විශාල. කාලයත් එක්ක රැක්ම බැල්ම අඩු වෙද්දී වත්තේ ඵළදාවත් එන්න එන්ම අඩු උනා. මේකට එක හේතුවක් තමයි පොල් හොරු කැඩිම. 

      මේ හොරකම් අල්ලා ගන්න හාමු විවිධ උපක්‍රම යෙදුවත් හොරු අල්ල ගන්න බැරි උනා. මුරකාරයෙක් ගත්තත් උගෙන් වැඩක් උනේ නැත්තේ හවස අට පහුවෙද්දී ඌ නිදාගන්න නිසයි. එකෙක් ඇවිත් මරලා ගියත් ඌ නෙවෙයි නැගිටින්නේ. මේකට මොකද කරන්නේ කියලා කල්පනා කරපු හාමු දවසක් තමාම හොරු ඇල්ලීමට යාමට හිතුවා. 

     ඉතිං සුපුරුදු පරිදි තුවක්කුවත් අතකින් අරගෙන ටෝර්ච් එක අනික් අතට අරගෙන හාමුම එදා වැඩේට බැස්සා. වත්ත පුරාම කැරකි කැරකි හොරු අල්ලාගන්න උත්සාහ කරමින් ගාලය ගතවෙනවා. මධ්‍යම රාත්‍රියත් ගත වෙලා පාන්දර යාමෙත් එළඹුනා. ටිකෙන් ටික හද පායාගෙන ආවා. මේ අතරතුර හාමුට පේනවා හෙවනැල්ලක් වගේ යමක් වත්තේ එහා කෙලවරින් මතු උනා. ටිකෙන් ටික වත්ත මැද්දට ආව සෙවනැල්ල පොල් ගහක්  ළගට යනවා නැවත වෙනත් ගහක් ළගට යනවා. හාමුත් පොල් ගහකට මුවා උනා වෙනදේ දැකගන්න. ටිකෙන් ටික ලං වෙන සෙවනැල්ල අදුනා ගන්න හාමුට වැඩි වෙලා ගියේ නෑ . මේ වත්තේ පොල් කඩන බණ්ඩා . මේකා මොකද මෙහෙ කරන්නේ කියලා හිතද්දිම බණ්ඩා එක පොල් ගහකට නගින්න ගත්තා. දැන් හාමුට තේරුණා වැඩේ. මූ හොරෙන් කඩන්න පොල් ඉතිරි කරලා තමයි පොල් මුරේ කඩන්නේ ඉතිං  අඩුවෙන්නේ නැතැයි ඵළදාව. 

      අද බෙල්ලෙන්ම අල්ල ගන්නම්කෝ මුන්දව . අරන් ගිහින් ආරච්චිල ළගට ගහනව දඩු කදේ. මෙහෙම හිතලා පොල් ටිකත් කඩනකම්ම හිටියේ බඩුත් එක්කම හොරු අල්ලගන්නයි. ඊට පසසේ ගහෙන් බහිද්දිම ළං උනා පොල් ගහ ළගට, පැන්න ගමන්ම අල්ල ගත්තා බණ්ඩා.

හාමු : ඈ.. බොල බණ්ඩෝ ... හොදයි නේද තොගේ කෙරුවාව... ඈ..

බණ්ඩා : අනේ... අනේ.. හාමු... අනේ හාමු.... අනේ...

හාමු :  අනේ හාමු.... අනේ...ඈ.. බොල තෝ... තෝ.. මගේ පොල් හොරෙන් කඩන්න ...

බණ්ඩා : අනේ..නෑ... අනේ.. හාමු...නෑ....හාමු.... අනේ...

හාමු :  මගේ පොල් හොරෙන් කඩනවා මදිවට තව බොරුත් කියන්න එනවා ... හිටපිය මම තොට හොද වැඩේ කරන්න වරෙන් යන්න ආරච්චිල ළගට යන්න ...

බණ්ඩා : අනේ....හාමු...මේ දැන්නම මේ විදියටම... මම හෙට උදේ එන්නම් හාමු.... අනේ හාමු...

හාමු :  ඔව්.. ඔව් දැන්මම ......මේ දැන්මම... ..වරෙන් ආරච්චිල ළගට යන්න ...

බණ්ඩා :හරි ...හාමු... මම  එන්නම් හාමු.... ඒත් හාමු... මම එහා වත්තෙත් පොල් කඩලයි ආවේ . මගේ සරමයි.. කමිසෙයි ඒ වත්තේ හාමු. මෙහෙම යන එක හරි නෑනේ හාමු . මගේ හොද හාමු. හාමුට පුළුවන්ද ඒ ටික  අරන් එන්න. මම මෙතැනම ඉන්නම්.

හාමු :  අනේ ..අනේ බණඩෝ ..තෝ මම කවුරු කියලද හිතුවේ.... යකෝ අපි හාමුලා... අපි තොපේ රෙදි අදිනවද.. අනික යකෝ මම ගියාට පස්සේ තෝ පැනලා දුවන්න නේද හිතුවේ. තොගේ ගොරක මදි මාව තම්බන්න. අපි රැවටෙයි තොපේ ඔය බටර්වලට.  මම මෙතනම ඉන්නවා තෝම ගිහින් අරන් වර....

තවත් කතා තියනවා... ප්‍රතිචාර දක්වන්නත් අවස්ථාව තියනවා.

Tuesday, September 3, 2013

සරසවි මතක 01.

        දිනය 2000 වසරේ පෙබරවාරි 06 වෙනිදා. සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයේ උදේට ගොඩක් සීතලයි. වෙනදා වගේම එදත් ඒ උදෑසන සීතල තිබුනා. ඒත් මට ඒක ගැන අද නම් හිතන්න වෙලාවක් නෑ. ඊයේ ඉදලා සූදානම් කරගත්ත දේවල් නැවතත් හරිද බලන ගමන් තවත් වැඩ කීපයක්ම කරන්න තිබුනා. කොහොම උනත් උදේ 10.00 වෙද්දී කුලේ ට පොරොන්දු උන විදියටම බස් නැවතුමට යන්න මම මගේ වැඩ කටයුතු ඉවර කර ගන්න හිතා ගත්තා. කුලේ කියන්නේ මගේ හෝඩියේ ඉදලම එකටම හිටිය යාළුවෙක්. කුඩා කාලේ ඉදලා එකට හිටියා වගේම ඉදිරියටත් ඌ මගේ තනියටත් එක්ක මේ ගමනට සම්බන්ද වෙන එකත් හොදයි.

       ගොඩක් දේවල් සූදානම් කරගෙන සිටිය නිසා ඉතාම පහසුවෙන් මට මගේ වෙලාවට වැඩ කරගන්න පුළුවන් උනා. ඊට පස්සේ කතා කරන්න හිටිය අයට කතා කරලා පයින් හන්දියට යන්න පිටත් උනා. ඒ අතර තුර කුමාර මගේ අතිජාත මිත්‍රයා පාපැදිය අරගෙන ආවා මාව ඇරලවන්න. ඉතිං ඇයි පයින් යන්නේ. නුපුරුදු උනත් පාපැදියේ ඉදගෙන යාම අද මම ඉදගත්තා.( වෙනදා මමයි පදින්නේ.) හන්දියට ගිහිල්ලා පැය බාගයකටත් වැඩියෙන් ඉන්න උනේ වෙනදා වගේම කුලේ පරක්කු නිසායි.

       කොහොම හරි ආව මුල්ම බසයේ නැග්ග අපි හිතින් ගමට ආයුබෝවන් කියමින් ටික දවසකට මේ පරිසරය, ගෙදර අය, හිතවතුන් ගෙන් මිදී යා යුතු ස්ථානයට යන්න පිටත් උනා.

        පැය තුනක විතර ගමනකින් පස්සේ අපි අද යන මේ ගමනේ එක්තරා කඩඉමකට එන්න හැකි උනා. පසුගිය දවස්වල හිසේ කෙස් ගනනට කියවපු දැනුත් අතේ තියන මේ ලිපියේ තිබුනේ " පේරාදෙනිය ගලහ හන්දියට" පැමිණෙන ලෙසයි. ඉන් අනතුරුව ඔබ ‍අදාල නේවාසිකාගාර තෙ රැගෙන යාමට ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ කියලත් එහිම තිබුනා. ඉතින් ගලහ හන්දියෙන් බසයෙන් බැස්ස මගේ වගේම කුලේගේ හිතෙත් යම් තැතිගැස්මක් තිබුන බව කතාව අඩුවෙමින් තිබීමෙන් සහ මුහුනේ තිබුන අවිනිශ්චිත බැල්මෙන්  හොදින්ම තේරුණා. 

      ලොකු බෑගයකුත් කරේ එල්ලා ගෙන එන අපිව දැක්ක ඕනෑම කෙනෙකුට අපි සරසවියට එන නවක සිසුන් බව තේරුම් ගන්න අමාරු නෑ. ඒ වෙනකොට පනහක් හැටක් පමණ පිරිසක් අපි වගේම එතැන හිටියා. ඒ වගේම සමහර අය ඇරලවන්න ආව අය විදියට සැලකිය හැකි පිරිසකුත් හිටියා . ( දෙමව්පියන්, සහෝදර සහොදරියන් වගෙ  අය සමහර අය වාහනවලත් ඇවිල්ලා හිටියා) ඒ අතරතුර  කඩිමුඩියේ එහාට මෙහාට දුවන පිරිසකුත් හිටියා. " මල්ලිලා....ඔයාලා  අර මැයි මාර ගහ ළගට යන්න... ආ... නංගිලා ටික පාරෙන් එහා පැත්තට ගිහින් අර බස් හෝල්ට් එක ළගට... හරි... හරි.. ඉක්මනින් යන්න... හා... දැන් ඔය බස් එකට නගින්න..." එතැන හිටිය පොඩි රැවුලක් තිබුන කෙට්ටු අයියෙක් අපිට උපදෙස් දෙනවා.

      අපි දෙන්නත් ඒ උපදෙස් අනුව බස් එක දිහාවට යන්න පිටත්වුනා. මම වට පිට ටිකක් බැලුවේ අදුනන කෙනෙක් දැකගැනීමේ බලාපොරොත්තුවෙන්. අපේ පාසලේ නම් පේරාදෙනිය සරසවියට සුදුසුකම් ලබුව වෙනත් අය හිටියේ නෑ. ඒත් වෙනත් තැනකදී හරි දැක ඇති අයෙක්වත් ඇත්ද?. ගැහැනු ළමුන් අතරේ කැපී පෙනෙන කෙනෙක් හිටියා. ඒ මුස්ලිම් කෙනෙක් ඈතටම ඇගේ ඔළුවේ තිබුන ආගමික සලකුණ පෙනුනා. ඇය දැක පුරුදු කෙනෙක් "ෆාතිමා"  GELT වලදී හමුවුන අසංකගේ යාළුවා. මගේ පංතියේ හිටිය හොදම මිතුරා අසංක තවමත් ගෙදර ඉන්නේ Colombo University එක Call කර නොතිබුන නිසා.  ඒ හැරුණාම දන්න හදුනන කිසිවෙක් නෑ. 

      බස් එකට ගොඩ උන මට ළගම තැනක ඉදගන්න ලැබුනා. යා යුතු දුර කොතරම්ද දන්නේ නැති උනත් ඉඩ තිබුන නිසා ඉදගත්තා. මා ළගම හිටියේ තරමක් කාල වර්ණ ‍කුඩා සිරුරක් තිබුන කෙනෙක්. ඔහු දකුණේ අම්බලන්ගොඩ කෙනෙක්. කතාව ටිකක් අමුතු විදියට. වැඩි විස්තර දැනගන්න වෙලාවක් නැති උනා. ඒ බස් රථය නේවාසිකාගාරය ළගට ඇවිත් නතර කරපු නිසා. විශාල මාරා ගස අසලින් බසයෙන් බැස බෑගයත් රැගෙන හෙමින් හෙමින් නේවාසිකාගාරය දෙසට මම කුලෙත් එක්ක පියවර මැන්නා. රතුපාටින් බර උන මැයි මාරා ගස් පේලියක් මැදින් මීටර් 50 ක් පමණ යාමෙන් අනතුරුව හිල්ඩා ඔබේසේකර ශාලාවට ලගා විය හැකියි. විශාල අකුරුවලින් "නවක ඔබ සාදරයෙන් පිළිගනිමු" සටහන් කරන ලද පුවරුවක් නේවාසිකාගාරයේ දොරටුව ඉදිරියේ තිබුනා. ඒ අසල මොහොතක් නතර උනේ නේවාසිකාගාරය පිටින් හරියටම දැක ගන්නයි. එහි කෙලවර නොපෙනුනත් දළ වශයෙන් මහල් තුනකින් සමන්විත විශාල ගොඩනැගිලි හතක් එක්කර තැනූවක් ලෙසට දැකගන්න හැකි උනා. සිතිවිලි අතරේ කිමිදෙමින් සිටි මා කුලේ ගේ වදනකින් ඉන් මිදී ඉදිරි කාලයේ මුහුණ දීමට සිදුවන දේවල් ගැන සිහි කරමින් පූධාන ගේට්ටුවෙන් නේවාසිකාගාරයට ඇතුල්උනා.

මතු සම්බන්දයි.