Friday, October 4, 2013

සරසවි මතක 03

    නැවතත් එතැන් සිට.......

        කාමරයේ අගුල විවෘත කර ඇතුල් වෙන්න ගිය අප දුටුවේ මේවා මාස ගණනක් වසා දමා තිබූ නිසාවෙන් ඉතාම අපිරිසිදුව, දුහිවිලි පිරී පැවති බවකුයි. මිතුරන් දෙදනා සමග පැමිණි ඔවුන්ගේ තාත්තලා මේ ස්ථානයේ දී අපෙන් සමු ගත්තා. මමත් ඒ අවස්ථාවේ දී ඔවුන්ගේ දෙපා නැමද ඔවුන් ලබා දුන් අවවාද ඉහලින්ම පිළිගත්තා.

        මීළගට අපේ කටයුත්ත වූයේ කාමරය පිරිසිදු කර ගැනීමයි. නමුත් ඊට අවශ්‍ය කොස්සක් අප සතුවුනේ නෑ. ඉතින් මේ සදහා නොදන්නා තැනක විදේශ අධාර සපයා ගැනීමේ ගැටළුවකට අප තිදෙනා මැදි උනා. කාමරය තුළ ඇදන් තුනකුත් තරමක් විශාල මේසයකුත් පුටු තුනකුත් තිබුනා.ඒවාද පිරිසිදු කළ යුතු තත්වයෙයි. අප සමුගෙන යන අවස්ථාවේ එක් මිතුරෙකුගේ පියාණන් කෙනෙක් දුන් උපදෙස්වලට අනුව මේ වන විට අප තිදෙනා කාමරය අගුළු දමා තිබූ අතර ජනෙල් හා බැල්කනියට ඇති දොර ද වසා දමා තිබුනා. (නවක සිසුන්ට නවක වධය ලබා දෙන බවක් දැන ගන්නට ඇති බැවින් එවැනි උපදෙසක් දෙන්න ඇති. කෙසේ වෙතත් මේ වන විට මා ද තරමක් තැතිගැන් වී සිටියා.මිතුරන් තුළින් ද ඒ බව පෙනෙන්නට තිබුනා.)

           කොස්සක් සපයා ගැනීමට නම් මුලින්ම බැල්කනිය පරීක්ෂා කළ යුතුයි. ඒ සදහා ඊට යා යුතු දොර ඇරිය යුතුයි. තරමක වෙහෙසක් දරා එය ඇරගත්තත් ලී පුටු දෙකක් හා කැඩුනු කොසු මිටක් හැර වෙන යමක් එහි නොතිබුනි. නමුත් මේ බැල්කනියටම විවෘත වෙන තවත් කාමරයක් දොරක් ඇති බව පෙනුනි. (රූප සටහනක් පසුව ඉදිරිපත් කරමි.)

         66 කාමරයේ බැල්කනියට ඇති දොරෙන් බැල්කනියට ඇතුළු වී බලන විට65 කාමරයේ බැල්කනියට ඇති දොර හමුවිය. එහෙත් එය වසා දමා තිබූ අතර ජනෙල් පියනක් ඇර තිබුනි. කෙසේ වෙතත් කාමරයේ කවුරුන් හෝ ඇද්ද ? ඔවුන් ජේෂ්ඨ සිසුන් වේද? එසේ උවහොත් කෙසේ ඇමතිය යුතුද? ඔවුන් කෙසේ ප්‍රතිචාර දක්වනු ඇතිද? අප නවක වධයට භාජනය කරනු ඇත්ද? වශයෙන් ගැටළු ගනනාවකට අප මුහුණ දී ඇති බව අපේ හැසිරීම්වලින් පෙනෙන්නට තිබුනි. එනම් අනෙක් කාමරය කරා යාමට කිසිවකුත් ඉදිරිපත් වීම ප්‍රමාද වෙමින් පැවතුනි.

        වෙන දෙයක් හොදටයි සිතමින් මම ම ස්වෙච්චාවෙන් ඉදිරියට ගියෙමි. ඇර ඇති ජනේලය තුළින් කාමරය තුළට එබී බැලුවෙමි. කිසිදු ශබ්දයක් නැත. එහෙත් කාමරය තුළ තිදෙනෙකු සිටී. ඔවුන් ගොලු වී ඇති බවක් දක්නට ඇත. මා අනුව යමින් මිතුරන් තිදෙනාද කාමරයට එබී බලයි. ඔවුන් ආපසු හැරී යන්නේ කිසිවක් තේරුම් ගත නොහැකි බව මුහුනේ ඉරියව්වලින් පෙන්නුම් කරමිනි. නිහඩතාවය බිදිමින් මම කතා කළෙමි.

අපිට කොස්සක් දෙන්න පුළුවන්ද”

        කතා නැතිවම එකෙකු පැමිණ ජනේලයෙන් කොස්සක් මා වෙත දික් කළේය. මා ඔහු වෙත සිනහවක් පළකල ද ඔහුට සිනහසීමට අමතක වී ඇතිවාක් මෙන් ආපසු හැරී ගොස් ඇදේ වැතිරුණේ‍ය. අනෙක් දෙදෙනාද පෙර මෙන්ම ඇදේ වැතිර සිටියෝය.

          සිදුවී ඇති දේ පිළිබදව කිසිත් සිතා ගැනීමට අපට ඉඩක් නොවූ අතර අපි ද කාමරය කඩිනමින් පිරිසිදු කරීමට යොමුවුනි. ඉන් අනතුරුව අපගේ බෑග් හා වෙනත් අප සතුව පැවති දේවල් තරමක් දුරට ස්ථාන ගත කළ අතර ඒ අතරම ඇදුම් මාරු කිරීමද සිදු විය. ඉන් අනතුරුව පළමු වරට කාමරයට පිටින් ඇතුල් වෙන දොර හැර නාන කමරයට ගොස් මුහුණ සොදා ගෙන නැවතත් කාමරයට පැමිණ දොර වසා ගතිමු. මෙම ගමනේ දී අප කොතරම් කැළඹී සිටියේද කියතොත් එකා පසුපස එකා ලෙස (කුඩා දරුවන් මෙන්) ගිය අතර මගදී හමු වූ කිසිවෙකු දෙස හැරී නොබැලූ අතර කිසිවකුට සිනාසීමද නොකරන ලදී. මග දී හමුවූ කිසිවකුත් කිසිවකු සමග කතා කළ බවක් නොපෙනුනි.

          අනතුරුව එළඹි කාලය අප තිදෙනා එකිනෙකාට දැන හදුනා ගැනීමට අවස්ථාවක් විය. මම කුරුණෑගල කියමින් ආරම්භ කරමින් මා පිළිබද කෙටි විස්තරයක් කළෙමි. තරමක් උස වයසින් වැඩිමහළු පෙනුමක් ඇත්තා “චමින්ද “විය. පොලොන්නරුවෙන් පැමිණි ඔහුට එක් වැඩිමහළු සහොදරියක් පමණක් සිටින බව පැවසීය. අප දෙදෙනාට වඩා පැහැපත් පෙනුමක් තිබනේ නුවරඑලියේ කොත්මලෙන් පැමිණි “රසික”ටය. ආගිය තොරතුරු මෙසේ කතා කරමින් සිටි අපට මේ වනතුරුත් අපේ අසල්වැසි කාමරයෙන් කිසිදු ශබ්දයක් නොඇසුනි. ඔවුන් කවුරුන්ද?

          තවත් පැනයක් මා හට තිබුනි. ඒ මා මිත්‍ර කුලේට සිදුවූයේ කුමක්ද? යන්නයි. කෙසේ වෙතත් මේ වන විට හිරු බැස යාමට ආසන්න වෙමින් පැවති අතර රාත්‍රී ආහාර සපයා ගැනීම පිළිබදවද අප කාත කළෙමු. මුලින් අපට කළ දැනුවත් කිරීම් අනුව රාත්‍රී ආහාර වේල කැන්ටිමෙන් ගැනීමට තීරණය කරන ලදී.

         කාමරයේ ඇදන් දෙකක් එක්කර තිබූ අතර අනෙක් දෙදෙනා එම ඇදන් තෝරා ගත්තෝය. තරමක් පැත්තකට වන්නට තිබූ ඇද මගේ බුක්තියට ගත්තෙමි. ඒ අසල බිත්තියේ වූ අල්මාරියට අපගේ ඇදුම් ඇසිරුවෙමු. ගෙන ඇවිත් තිබූ පොත් කිහිපය මේසයේ තැබුවෙමු. ඒ අතරම අසල්වැසියන් පිළිබදව සොයා බැලීමට සිත්විය. ආපසු බැල්කනිය හරහා ගොස් බලන විට ඔවුන්ගේ හැසිරීම් මදක් වෙනස්ව පැවති නිසා අප අප ගැන කියමින් ඔවුන් කවුරුන්ද යන්න විමසුවෙමු. වැලිමඩ, දෙහිඅත්තකණ්ඩිය හා ඇඹිලිපිටිය ප්‍රදේශවලින් පැමිණ තිබූ අපවැනිම නවකයින් ලෙස කලා පීඨයට පැමිණි සිසුන් තිදෙනෙකු බව දැනගත් විට සිතට සැනසීමක් දැනුනි. නමුත් තරමක් කතාව අඩු බව මේ වනතුරුත් අපට දැනුනා. අපේ කාමරයට පැමිෆනන ලෙස අප කළ ආරාධනාව පිළිගනිමින් ඔවුන් අප හා එක් උනා.

        මේ වනතුරු කිසිවකුත් අපේ  කාමරයට පැමිණ නොතිබීම සහනයට කරුණක්. ඒ අස්වැසිල්ල යම් මොහොතක් පමණයි තිබුනේ. දොරට කිසිවෙකුත් තට්ටු කරන ශබ්දයක් සමග " එක්ස්ක්‍යුස් මී " යනුවෙන් ඇමතීමක් පිටතින් ඇසුනා. 

මේ කවුරුන්ද?.....  "කැවුම් පියා" පිළිබද කතාව ඊළග ලිපියෙන්.......